යුධ හමුදා මේජර්ට අසාධාරණයක්. යුධ හමුධාධිපතිතුමනි මොහුගේ ඉල්ලීම ඉටු කරදෙන්න.

වරදක් කල බවට යුධ හමුදාවෙන් ලද චෝදනාවක් මත නිවැරදි නඩු  විභාගයක් නොපවත්වා අසාධාරණ ලෙස, දේශපාලන වුවමනාවන් මත,  බලහත්කාරයෙන්  යුධ හමුදාවෙන් විශ්‍රාම ගන්වා ඇති  මේජර් වරයෙකු පිලිබඳව ලද තොරතුරක් මත අප කණ්ඩායම ඒ පිලිබඳව දීර්ඝ ලෙස සොයා බැලීමක් කරන ලදී. එහිදී අපට ලැබුණු තොරතුරු සහ ලේඛණ වලට අනුව මේ මේජර්වරයාට දැඩි අසාධාරණයක් සිදුව තිබේ. මහජනතාව බෙහෙවින්ම ආදරය කරන ත්‍රිවිධ හමුදාවන් තුල මෙවැනි කාරනා සිදුවීම සැබවින්ම නුසුදුසු නමුත්, සියලු තැන්හි ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසන මිනිසුන් සිටින බව වටහාගෙන මේ ලිපිය කියවීම සුදුසු බව අපගේ මතය වේ. ආරක්ෂක හමුදාවන් සුරැකීම අපගේ  මූලිකම දැක්ම වේ. එහෙත් ඒවායේ සිටින නිසි පුහුණුවක් නොලද, පෞරුෂත්වයක් නොමැති, ප්‍රජාතන්ත්‍රවිරෝදී වැඩ කරන නිලධාරීන් සහ භටයන් සිදු කරන නීති විරෝදී ක්‍රියාවන් සැගවීමෙන් එම ආයතන බිඳ වැටී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බව අප තේරුම් ගත යුතුය. යුධ, ගුවන් සහ නාවික හමුදාවන් වල සේවය කරන සියලු සාධාරණ නිලධාරීන් මෙන්ම භටයන්ද  සුරැකීම අප සැමගේ වගකීමකි. එම වගකීම නිසි ලෙස ඉටු නොකෙරෙන්නේ නම් මේ හමුදාවල්ද ශ්‍රී ලංකා පොලිසියේ තත්වයටම වැටෙනු ඇත. එවිට අනාගත පරපුර වර්තමාන පරපුර වන අපට චෝදනා එල්ල කරනු ඇත.

යුධ හමුදාවේ එක්තරා උසස් නිලධාරියෙකු විසින්  වැරදි කරුවෙකු බවට පත්කළ මේ මේජර්වරයාට සම්බන්ද කාරණාව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරයෙකු වන ධම්මික කිතුල්ගොඩ මහතා ඇතුළු ත්‍රිපුද්ගල ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයකින් නිදොස් කර තිබේ. එසේම එම කමිටුව විසින් මෙම යුධ හමුදා මේජර් වරයා විශේෂ ඇගයීමකට ලක් කර තිබේ. එසේම යුධ හමුදාව මගින් කර ඇති විනය ක්‍රියාමාර්ගය අවලංගු කරන ලෙසද දැනුම් දී ඇත. එහෙත් එකල සිටි යුධ හමුදාපති ඒ ගැන අවධානයක් යොමු කර නැති බව,  ඔහු වෙත එම නිර්දේශ ඉදිරිපත් කර නැති බව හෝ ඔහු නොමග ගොස් තිබෙන බව පෙනී යයි.

නමින්  තරිදු වීරසිංහ වන මේ මේජර් වරයා තමනට සිද්ධ උණු අසාධාරණය නිවැරදි කරගැනීම වෙනුවෙන් තවමත් වෙහෙසෙයි.  මෙම සිද්ධිය සිදුවන්නේ ශ්‍රී ලංකා ජූඩෝ සංගමයේ මහ ලේඛම් වූ පසු එහි ඊට පෙර සාමාජිකයන් විසින් සිදු කරන ලද වංචා සහ දූෂණ එළිදරව් කිරීමේ ප්‍රතිපලයක් ලෙසයි . ඒ එළිදරව් කිරීම සහ එම සිද්ධියේ සියලුම ලේඛණ අප සතුව තිබුනත් වැදගත් වන්නේ යුධ සමයේ තම ජීවිතය රට වෙනුවෙන් කැප කල මෙවැනි නිලධාරීන්ට මෙසේ සිදු වීමෙන් අනෙකුත් නිලධාරීන්ද රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට මැලිකමක් දැක්වීමෙන් වලකා ගැනීමයි.

විවිධ කාරනා කිහිපයකින් පසුව යුධ හමුදා මූලස්ථානයට කැදවන මේජර් තරිදු වීරසිංහ මහතා , යුධ හමුදාවේ එවකට ක්‍රීඩා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ගලගමගේ ඉදිරියේ මෙම පරීක්ෂණය සිදු කර තිබේ. බ්‍රිගේඩියර් ගලගමගේ පමණක් තනිවම  මෙම පරීක්ෂණය සිදු කර තිබේ. එහෙත් පසුව තවත් නිලධාරීන් සිටි ලෙස වාර්තාව සකසා තිබෙන බව ද  සදහන් වෙයි. එය එසේ සිදු වී නම් එම පරීක්ෂණයද නීති විරෝදී පරීක්ෂණයකි. අඩුම තරමින් යුද්ධ අධිකරණයක් ඉදිරියටවත් යන්න තිබෙන අයිතිය සහ නීතියවත් ක්‍රියාත්මක කර ගැනීමට ඔහුට අවස්ථාව ලබා දී නැත. මූලික පරීක්ෂණ නිම වීමටත් ප්‍රථම යුධ හමුදාවේ සක්‍රීය සේවයෙන් ඉවත් කොට විශ්‍රාම ගන්වා තිබෙන්නේ නීති විරෝදී අකාරයටය.

කෙසේ හෝ මේ නිලධාරියා තමන්ට සිදු වූ අසාධාරණය නිවැරදි කර ගැනීම වෙනුවෙන් දිගින් දිගටම කටයුතු කර ඇති අතර ක්‍රීඩා අමාත්‍යංශය මගින් පත් කරන ලද ත්‍රිපුද්ගල ස්වාධීන මණ්ඩලයකින් මෙම මේජර්වරයා නිදොස් කොට නිදහස් කර තිබේ. එසේම වැරදි කරන ලද ජුඩෝ සංගමයේ වංචනිකයන්ට වසර 10ක් දක්වා ක්‍රීඩා තහනමක්ද ලබා දී තිබේ. එම පරීක්ෂණ වාර්තාවට අනුව මේජර් තරිදු වීරසිංහ මහතාට එරෙහිව සිදු කරන ලද සියලු විනය ක්‍රියාමාර්ග අවලංගු කරන ලෙසද , මේ සිද්ධියට එරෙහිව යුධ හමුදාව වෙත යොමු කර තිබෙන නීතිවිරෝදී ලිපිය නොලැබුන සේ සලකා කටයුතු කරන ලෙසද හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුල්ගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පරීක්ෂණ කමිටු වාර්තාවෙන් යුධ හමුදාව වෙත දන්වා තිබේ.

නමුත් මේ ස්වාධීන පරීක්ෂණ වාර්තාවටද එවකට හිටපු යුධ හමුදාපති ක්‍රියත්මක වී නැති බව පෙනී යයි. එසේම ඔහුව යුධ හමුදාවෙන් ඉවත් කිරීම  පිලිබඳව කිසිදු නිශ්චිත හේතුවක්වත් එසේ ඉවත්කිරීමේ ලිපියෙහි සදහන්  නොවේ.

එසේම මෙම නීතිවිරෝදී පරීක්ෂණය කරන ලද එවකට ක්‍රීඩා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ගලගමගේට විරුද්ධව ද යුධ හමුදා මූලස්තානයට පැමිණිලි කර තිබේ. නමුත් ඒ කිසිදු පැමිණිල්ලක් විභාග කර නැති අතර එම බ්‍රිගේඩියර් වරයා මේජර් ජනරාල් නිලයටද උසස් කර තිබේ. එපමණක්ද නොව මේ වන විට එම නිලධාරියා  විශ්‍රාම ගොස් තිබේ.

නමුත් අප සතුව පවතින ලේඛණ වලට අනුව නිවැරදි කරු වන මේජර් තරිදු වීරසිංහ මහතාට කිසිදු සහනයක් යුධ හමුදාවේ එවකට වගකිව යුතු බලධාරීන් විසින් ලබා දී නැත. මේ නිලධාරියාට මේ වන තෙක්ම  කිසිදු වැටුපක් හෝ විශ්‍රාම වැටුපක් නොලබන බව කිය වේ. 

මේ කරුණු සිදු වන්නේ වර්තමාන යුධ හමුදාධිපති සමයේ නොවේ.  බොහෝ දෙනෙකු බොහෝ සෙයින් ප්‍රිය කරන වර්තමාන හමුදාධිපතිතුමනි, මේ ගැන සොයා බලා මේ නිලධාරියා ඉල්ලන යුක්තිය ඔහු වෙත ලබා දීමෙන්  දිගින් දිගටම මෙවැනි ක්‍රියාවන් යුධ හමුදාව තුල සිදු වීම වලකා ගත හැකි වනු ඇත.

සංස්කාරක සටහන

බ්‍රිගේඩියර්වරයෙකු වැනි විශිෂ්ඨ තනතුරකින් මෙවැනි අකටයුත්තක් සිදු වීද?, යන්න සැක සහිතය. නමුත් එවැන්නක් සිදු වී තිබෙන බව පැහැදිලිය. මෙලෙස ඉහල නිලධාරියෙකුගෙන් පහල නිලධාරියෙකුට හිංසනයක් වීම අනුමත කල නොහැකි අතර එසේ හිංසා වීම පිලිබඳව සහ නීතිවිරෝදීව සිදු කරන ලද පරීක්ෂණයට විරුද්ධව පැමිණිල්ලක් කර තිබේ නම් එය නිසි ලෙස විභාගයට ගත යුතුය. එවැනි දේවල් සැඟවීමෙන් සිදු වන්නේ අනෙකුත් පුද්ගලයන්ද එම වැරදි මාර්ගයම තෝරා ගැනීමයි. අප සතුව තිබෙන තොරතුරු නිවැරදි නම් මෙම බ්‍රිගේඩියර්වරයාට යුද්ධ හමුදා පනත යටතේ සහ ලංකා දණ්ඩනීති සංග්‍රහය යටතේ දඩුවම් කල යුතුව තිබුණි. මෙම සිද්ධියේදී යුද්ධ හමුදාවට අපකීර්තියක් වන ලෙස මෙම බ්‍රිගේඩියර්වරයා කටයුතු කර තිබෙන බව ඉතාම පැහැදිලිය. ඔහු විශ්‍රාම ගියද තම රාජකාරිය තුල කරන ලද වැරදි අනාවරණය වන්නේ නම් ඔහුට විරුද්ධව කටයුතු කිරීමට හැකිය. එය නීතිය තුල පැහැදිලිවම සදහන් වේ. නමුත් විශ්‍රාම ගොස් ඇති පුද්ගලයෙකුට එය සිදු කිරීම ලෙහෙසි කටයුත්තක්ද නොවේ.

යුක්තිය සහ සාධාරණත්වය යනු නීතිමය සිද්ධාන්තයකි. සියලු පුරවැසියන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද තම මෙහෙවර කල යුත්තේ මෙම සිද්ධාන්තය ආරක්ෂා වන ලෙසය. යුක්තිය සහ සාධාරණත්වය බලාපොරොත්තුව සිටින ඔහු දෙසද බැලිය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙසය. එය ඔහුට අයත් නීතියයි. යුද්ධ හමුදා පනත තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පහලිනි. ඉහලින්ම තිබෙන්නේ අප කාටත්  පොදු නීතිය වන  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

ත්‍රිවිද හමුදාවේ අධිකාරිලත් නිලධාරීන් අයත් වන්නේ රාජ්‍ය සේවක ගණයටයි. එහෙත් ඔවුන්ට රාජ්‍ය සේවා කොමිෂමෙන් සේවය ලබා ගත නොහැක. ඔවුන්ට මූලික පරීක්ෂනාධිකරණයෙන් පසු යුද්ධාධිකරණයක් රැස් විය යුතුය. නිලධාරීන්ගේ කටයුතු පිලිබදව අවසන් තීරණය ගත යුත්තේ මෙම යුද්ධාධිකරණයෙනි. එසේම යුද්ධ හමුදාපනතේ 81 වැනි වගන්තිය ප්‍රකාරව සියලු කටයුතු සිදු විය යුතුය. එහෙත් මෙම කාරණාවේදී එවැන්නක් සිදුව තිබෙන බවට තොරතුරු ලැබී නැත.

විවිධ දේශපාලන හේතූන් මත හමුදා නිලධාරීන් සහ භටයන් හට තම අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ඉඩ හැරීම සුදුසු නැත. මෙවැනි අකටයුතුකම් වලදී ලබා දුන් අධිකරණ නඩු තීන්දුද විශාල වශයෙන් තිබේ. (Deshapriya VS Rukmani Divishional Secretary -. 1992, 2 SLR p.412) ) යන නඩු තීන්දු නීතියද එවැනි නඩු තීන්දුවකි. එසේම ස්වාභාවික යුක්තිය පිලිබදව රීතීන්ට එරෙහිව කරනු ලබන දඩුවම්ද වලංගු නොවේ. ඒ පිලිබදව ( In Nandasena V.MS Jayasinghe, Secretary of Justice 2001 Sri Lanka ) යන නඩු තීන්දුවෙන් නීතියක් බවට පත් කර තිබේ. එසේම රජයට සම්බන්ද අයවලුන් සේවයෙන් ඉවත්කිරීම හෝ නැවැත්වීමට තුඩුදෙන කරුණු වන්නේ, වංචාව, මහජන මුදල් වංචා කිරීම වේ. මෙවැනි අවස්ථාවකදී කටයුතු කළ යුතු නිවැරදි ක්‍රමය ආයතන සංග්‍රහය තුල මෙන්ම යුද්ධ හමුදා පනත තුල සදහන් වේ. ( Elmore Perera .V. Major Montague Jayawickrama . A decision of nine supreme court Judges) යන නඩු තීන්දු නීතිය මගින් එය තහවුරු කර තිබේ.  එසේම හේතු නොදන්වා හිතුමතේ යමෙකු සේවයෙන් ඉවත් කිරීමද වලංගු නොවේ. දන්වන ලද හේතුවද තමන්ට හිතුන හිතුන ආකාරයෙන් ලබා දීම නොව නීත්‍යානුකූලව රැකියාවෙන් ඉවත් කිරීම සදහා සුදුසු හේතුවක් තිබිය යුතුය. ඒ පිලිබඳව  ( Bandara V Premachandra 2 SLR 301 ) මෙම නඩු තීන්දුව තුල සදහන් වේ.  මෙවැනි නීත්‍යානුකූල කරුණු විශාල වශයෙන් අපට  සටහන් කල හැකිය. නමුත් අවශ්‍ය වන්නේ නීතියට අනුව බලධාරීන් වැඩ කිරීමයි.

මේ අවස්ථාවේ මෙම මේජර්වරයාට අසාධාරණයක් කල බ්‍රිගේඩියර්වරයාට එරෙහිව පුද්ගලික නඩු කිහිපයක්ද පැවරීමට ඉඩ ප්‍රස්ථාව තිබේ. මූලික අයිතිවාසිකම් නඩුවක්, රීට් ආඥාවක්, අපරාධ නීතිය යටතේ චෝදනා එල්ල කිරීම සහ මේජර්වරයාට සිදු වූ පාඩුව ඉල්ලා වන්දි නඩුවක්ද පැවරීමට හැකියාව පවතී.

කරුණු සහ නීතිය එසේ වුවද අදාළ බලධාරීන් නීතිය පසෙකලා විවිධ දේශපාලන වුවමනාවන් මත පහල නිලයන්ට කෲර සහ අවමන් සහගත ලෙස සලකන්නේ නම් යම් දිනයක තමන්ට හෝ තමන්ගේ දරුවෙකුට, මුනුබුරෙකුට හෝ මෙම තත්වය ඇතිවිය හැකි බව දැනගෙන කටයුතු කල යුතුය.

විශේෂයෙන් රටක ආරක්ෂක හමුදාවක මෙවැනි තත්වයන් ඇති වීම එම රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයකි.

Exit mobile version