රක්ෂිත වනාන්තර ගණනාවක්ම නැවතත් විනාශකරයි. බලධාරීන් නිහඩයි.

කන්දකාඩු ත්‍රිකෝණමඩු රක්ෂිතය ආශ්‍රිත වැලිකන්ද සූරියවැව රක්ෂිතය බඩ ඉරිඟු වගාවක් සඳහා විනාශ කිරීමට එරෙහිව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ සංඝ රත්නය ප්‍රදේශයේ ගොවි නියෝජිතයින් සහ පරිසර සංවිධාන එක්ව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව (19) පැවසූහ.

එම වන විනාශය සිදුවන ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින් ඔවුහු මේ බව පැවසූහ.

රාජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහභාගි වී වැලිකන්ද ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී වැලිකන්ද සුරියවැව රක්ෂිතය විනාශ කිරිම වහාම නතර කරන ලෙසට ලබාගත් තීරණය තුට්ටුවකට මායිම් නොකර එම රක්ෂිතයට   ඩෝසර්, ජේ.සී.බී යන්ත්‍ර යොදා තවදුරටත් එම රක්ෂිතයේ තිබෙන වීර, පළු, බුරුත, ඇතුළු වටිනා ශාක වර්ග වනසමින් සිටින බව    ප්‍රදේශයේ මහා සංඝරත්නය මෙන්ම පරිසරවේදීන් සහ ගොවිජනතාව සඳහන් කරති.

ඉකුත් 19 වැනිදා වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී වැලිකන්ද සූරියවැව රක්ෂිතය   මහා පරිමාණයෙන් විනාශ කරන බවත්, එය වහාම නතර කරන ලෙසට ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙන්ම ගොවි ජනතාව ඉල්ලීම් කළ විටදී එම කමිටුව වන විනාශය වහාම නතර කරන ලෙසට ගත් තීරණය අභිබවමින් සිදුකරන මෙම වන සංහාරය නිසා එම රක්ෂිතයේ සිටින අලි ඇතුන් මෙන්ම වන සතුන් ගම්වැදී මිනිස් දේපළවලට හානි කරන අතර සතුන්ගේ ජීවිතද දඩයම් කරුවන්ගේ අතින් විනාශ වන බව මහා සංඝ සංඝරත්නය පරිසරවේදීන් මෙන්ම ප්‍රදේශවාසීන් පෙන්වා දෙති.

මහමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් , ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති ජගත් සමරවික්‍රම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් යන මහතුන්ගේ මෙන්ම වැලිකන්ද ප්‍රදේශයේ රාජ්‍ය ආයතන  ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් එම රැස්වීම් පැවති අතර එහිදී කමිටුව සූරියවැව රක්ෂිතයේ සිදුකරන වන සංහාරය වහාම නතර කරන ලෙසට තීරණය කරන ලදී.

 බඩ ඉරිඟු වගාවක් සිදු කිරීමට බව පවසමින් සූරියවැව රක්ෂිතයේ අක්කර 1500 ක බිම් ප්‍රමාණයක් ආයෝජකයින් 29 දෙනකු සඳහා අක්කර හතළිස් 49 බැගින් වසර පහක කාලයක් සඳහා පශු සංවර්ධන මණ්ඩලය විසින් ලබාදී ඇති බවට මෙහිදී කරුණු අනාවරණය වුණි,

විනාශ වන රක්ෂිතය වන අලින්ගේ වාසස්ථානයක් බවත් සෝමාවතිය, මාදුරුඔය, වනෝද්‍යානය මෙන්ම ත්‍රිකෝණමඩු රක්ෂිත අතර අලි ගමන් කරන ප්‍රධාන මාර්ගයක් බවද මෙම කමිටු රැස්වීමේදී වනජීවි නිලධාරින් අනාවරණය කළහ.

මෙම රක්ෂිතයේ සිදුවන මහා පරිමාණ දැව ජාවාරම මෙන්ම වන විනාශය පිළිබඳ සොයා බැලීමට දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාංකාර නාහිමියන් ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සංඝරත්නය පරිසර යුක්ති කේන්ද්‍රයේ නිලධාරීන් පිරිසක්, මෙන්ම ප්‍රදේශයේ ගොවි නියෝජිතයින් පිරිසක්ද එම රක්ෂිතය 20 වෙනිදා නිරීක්ෂණය කළහ,

මෙහිදී දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළේ මෑත කාලයේ ,අප රටේ සිදුවන දැවැන්තම පරිසර විනාසය මෙය වන බවත්, මෙය අලි මිනිස් ගැටුම් වර්ධනය වීමට බෙහෙවින් බලපා තිබෙන බවත්, ත්‍රිකෝණමඩුව සූරියවැව රක්ෂිතයේ සිදුවන මහා පරිමාණ වන සංහාරය නතර නොකළහොත් දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාව ඇතුළු ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින්  සහ පරිසරවේදීන් දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක කරන බවයි.

සූරියවැව රක්ෂිතයේ වන විනාශ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දැක්වූ පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රතිපත්ති සහ දැනුවත් කිරීමේ නිලධාරී ජානක විතානගේ මහතා සඳහන් කළේ, මෙම පරිසර විනාශයට එරෙහිව ශ්‍රි ලංකා මහවැලිය අධිකාරියටත් පශු සම්පත් සංවර්ධන මණ්ඩලයටත් ඊට වගකිය යුතු අංශ සියලු දෙනාහට එන්තරවාසි යොමු කොට ඇති බවත්, ඒ සදහා මෙතෙක් පිළිතුරු නොමැති බවත්, මෙම මහා පරිමාණ වන විනාශය පිටුපස ප්‍රබල දේශපාලඥයෙකු හෝ කිහිපදෙනෙකු සිටින බවත් මෙය වහාම නතර කිරීමට ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඡායාරූප හා සටහන – බුද්ධික රාජපක්ෂ (උපුටා ගැනීම පුලතිසි පුවත් මුහුණු පොතෙන්)

Exit mobile version