වර්තමාන ජනාධිපතිවරයා දැඩි උත්සාහයක් ගනිමින් රටේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් ඇප කැප වී කටයුතු කලත් ඔහු විසින් පත්කරන නිලධාරීන් මෙන්ම අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ද ගැටළු ඇතිකරමින් ජනාධිපතිගේ බලය අවභාවිතා කරන්නේ නම් එය කණගාටුවට කරුණක් සේම සමහරු එම බලය භාවිතා කරනුයේ වඳුරාට දැලි පිහිය අසු වුවා සේය. දේශපාලන නායකයන් විසින් පත්කරගන්නා බොහෝ අධ්‍යක්ෂකවරු සිදුකලේ රටේ ප්‍රශ්න ඇතිකරමින්, මුදල් හම්බකරගනිමින් ආණ්ඩු පෙරලෙන විට ඒවායින් ඉවත්වීමයි. ඔවුන් බොහෝ දෙනෙකුට නීතිමය දැනුම හෝ රාජ්‍ය පාලනය පිලිබඳව දැනුම් නොමැති අතර සාමාන්‍ය දැනුමද නොමැති අය වේ. රටේ බොහෝ ජනාධිපතිවරුන්ට වැරදුනේ එවැනි අමනෝඥ පුද්ගලයන් උසස් තනතුරුවලට පත්කළ නිසාය.
මේ වන විට මැතිවරණයක් මතුකරමින් දිනෙන් දින විවිධ ප්‍රශ්න ඇතිවෙමින් සහ නැතිවෙමින් විවිධ කතා කරලියට පැමිණෙමින් තිබේ. රජය නිල වශයෙන් නිකුත් කරනු ලබන සියලුම නිවේදන නිකුත් කරනුයේ රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් විසිනි. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා වූ පසු රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂක ලෙස පත් වුයේ ලංකාදීප පුවත්පතේ කතෘ මණ්ඩල සාමාජිකයෙක් සහ ජේෂ්ඨ මාධවේදීයෙකු වන දිනිත් චින්තක කරුණාරත්නය. ඔහු ඊයේ (29) මැතිවරණ කොමිෂමට බලපෑමක් වන ලෙස නිවේදනයක් නිකුත් කළේය. එවැනි නිවේදනයක් නිකුත් කිරීමෙන් නැති ප්‍රශ්න ඇතිකරවන අතර අප එම පුවත ඊයේ වාර්තා කලේද එම නිවේදනයේ පදනම කුමක්ද යන්න එහි සඳහන් නොවන බව පෙන්වා දෙමිනි.
කෙසේ නමුත් අද (30) මැතිවරණ කොමිෂම නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂකවරයා බොලද අකාරයෙන් හැසිරෙන බවත්, අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නොදැනුවත්භාවය ප්‍රසිද්ධ කර තිබෙන බවද මැතිවරණ කොමිෂම් සභාවේ ලේකම්වරයා විසින් නිකුත් කල නිවේදනයේ සදහන් වේ.
තවද, එම නිවේදනයේ “ වගකිව යුතු රාජ්‍ය නිලධාරියෙකු විසින් වගකීම් විරහිත මෙවැනි මෙවැනි නිවේදනයක් නිකුත් කිරීමෙන් අපේක්ෂා කරන ප්‍රතිපලය කුමක්ද යන්න මැතිවරණ කොමිෂන් සභාවට ගැටලුවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව සියලුම රාජ්‍ය නිලධාරීන් මැතිවරණ ක්‍රියාවලියට සහයෝගය ලබා දීමට ව්‍යවස්ථාපිත බැඳීමක් තිබියදී හා එය ඉටු නොකිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේම ප්රකාශිතව තිබියදීත් ප්රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා තම නොදැනුවත්භාවය ප්‍රසිද්ධ කර ඇත. මැතිවරණ කොමිෂන් සභාව පලාත්පාලන චන්ද විමසිම ආරම්භ කරන ලද්දේ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් 2023 ජනවාරි මස 04 වැනි දින දැන්වීම් නිකුත් කරමින් නාමයෝජනා කැඳවීමෙන් බව ඔහුට අමතකව ඇති බව පෙනේ . එසේම 2017 අංක 16 පනතින් සංශෝධිත පළාත් පාලන චන්ද විමසීම් ආඥා පනතේ 38 වගන්තිය ප්‍රකාරව චන්ද විමසීම් දැන්වීම ප්‍රකාශයට පත්කරනු ලබන්නේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් බවද මීට පූර්වයෙන්ද ක්‍රියාකර ඇත්තේ ඒ ආකාරයෙන්ම බවද ප්රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා නොසලකා හැර ඇති අතර, එම දැන්වීම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ සාමාජිකයන් අත්සන් කල යුතු දැන්වීමක් නොවන බවට මූලික නීතිමය දැනුම පවා ඔහු වෙත නොමැති බව පෙනී යයි. අදාළ නිවේදනය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළකිරීම සදහා අද දින (2023.01.30) දින රජයේ මුද්‍රණාලය වෙත භාර දී තිබේ. ප්රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිසි කරුණු සොයා බැලීමකින් තොරව ප්රවෘත්ති නිවේදන නිකුත් කිරීමෙන් ස්වකීය ධුරය මෙවැනි බොළද තත්වයට පත්කර තිබීම කනගාටුදායක බව නිවේදනය කර සිටි” ලෙස එම නිවේදනයේ සදහන්වේ.