රටට හිතැති, මහනුවර ඔබ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම එන්න.

ලන්දේසීන් විසින්  රැගෙන ගොස් සියවස් ගණනාවක් පුරා ශ්‍රීලංකාවට අහිමි කර තිබූ කෞතුක වස්තු හය පිළිබඳ සංවාදශීලි විද්වත් කතිකාවත:

27 අගහරුවාදා මහනුවර ඊ.එල්.සේනානායක පුස්තකාල ශ්‍රවණාගාරයේදී!

සරත් සමරනායක 

අතීත මහනුවර රාජධානියේ බල සම්පන්න බව ලොවට කියාපාන, ලන්දේසි ජාතිකයන් විසින් රැගෙන ගොස් සියවස් ගණනාවක් පුරා අපට අහිමි  කර තිබූ වටිනාකම මෙතෙකැයි කිව නොහැකි ලෙව්කේ කාල තුවක්කුව, මහ තුවක්කු  දෙකක් ඇතුළු පෞරාණික කෞතුක වස්තූන් හයක් පසුගිය දා නෙදර්ලන්තය විසින් යළි ශ්‍රීලංකාව වෙත නිළ වශයෙන් භාරදීමට කටයුතු කළේය.

ඒ සමඟම එතෙක් ලොවෙන් සැගවී තිබූ ශ්‍රීලාංකීය අපේ අතීත තාක්ෂණික දැනුම හා යුද ශිල්ප ක්‍රම භාවිතා කළ අවි ආයුධ පිළිබඳව උණුසුම්  කතා බහක් සමාජයේ මතු වෙමින් පවතී .එම සමාජ කතිකාවත එසේ මතු වෙද්දී ඊට දෙස් විදෙස් නවමු වටිනාකමක් එක් කිරීමට අපේ විද්වතුන් පිරිසක් මූලිකත්වය ගෙන සිටිති.

ඔවුන්ගේ සාමුහික ප්‍රයත්නයකින් ගොඩනැගුණු ශ්‍රීලංකාවේ සංකීර්ණ අතීතයේ අමතක වූ ඒවා සහ නොසලකා හරින ලද අංශ ප්‍රශ්න කරමින් ඒවා ලේඛණගත කොට සංරක්ෂණය කිරීමේ අරමුණ ඇතිව ආරම්භ කරන ලද “ඓතිහාසික සංවාදය සහ මතකය සදහා වූ එකමුතුව” (CHDM collective for historical dailogue) විසින් මෙම කෞතුක වස්තූන් පිළිබඳව සමාජයේ පුළුල් අවධානයක් යොමු කරවීමටත් අපේ අතීත උරුමයන් පිළිබඳව ජනතාව තුල ධනාත්මක ආකල්ප ඇති කිරීමටත් ක්‍රියා කරමින් සිටිති.ඊට ශ්‍රීලංකාවේ නෙදර්ලන්ත තානාපති කාර්‍යාලයද සහාය ලබාදීම විශේෂත්වයකි.

ඔවුන්ගේ එම උත්සාහය රටපුරා ගෙන යාමේ අරමුණින් සංවිධානය කරන දීපව්‍යාප්ත වැඩසටහන් මාලාවේ දෙවැනි සංවාදශීලි සම්මන්ත්‍රණය මේ මස 27 අගහරුවාදා මහනුවර කොටුගොඩැල්ල වීදියේ ප්‍රසිද්ධ ඊ.එල්.සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

මහාචාර්ය  අසෝක ද සොයිසා ,ආචාර්ය ගංගා දිසානායක ,පර්‍යේෂකයින් වන ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් වික්‍රමසිංහ ,චාමිකර පිලපිටිය ඇතුළු විද්වතුන්ගේ සහභාගිත්වයෙන් එදින පැවැත්වෙන වැඩසටහන පෙරවරු 9.30 ආරම්භ වී පස්වරු 4.00 දක්වා පැවැත්වෙන අතර සුලක්ෂණා ද මැල් විසින් මෙහි මෙහෙයවීම් කටයුතු සිදු කරයි.එහි පෙරවරු වැඩසටහන ආරාධිතයන් සදහා වෙන්වන අතර පස්වරුවේ පැවැත්වෙන වැඩසටහනේදී මේ පිළිබඳව උනන්දුවක් දක්වන ජනතාවට විද්වත් මණ්ඩලය සමඟ අදහස් හුවමාරු කරගැනීමට ඉඩ ලබාදීමට සංවිධායක මණ්ඩලය කටයුතු සූදානම් කර තිබෙන බව මෙහි සම්බන්ධීකරණ කටයුතු භාර චාමිකර පිලපිටිය මහතා පැවැසීය.

සමාජයේ මෙතෙක් හරිහැටි අවධානය යොමු නොවූ අපේ අතීත වටිනාකම් රැසක් පිළිබඳව පුළුල් ලෙස විමසා බැලෙන මෙම වැඩසටහන සමඟ එක්වන ලෙස ඓතිහාසික කන්ද උඩරට ජනතාවට ආරාධනා කරන බවද පිලපිටිය මහතා වැඩිදුරටත් පැවැසීය.

Exit mobile version