රනිල්ගේ ජාත්‍යන්තර නැවට, කාදිනල්ගෙන් කනේ පාරක්.

රජයේ බලධාරීන් විසින් දේශීය කටයුතු නොසළකා හැර ඇතැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, අන්තර්ජාතික මුහුදු මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නෞකාවක් යැවීමට රජය ගෙන ඇති පියවර ද විවේචනය කරමිනි.

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයාගැනීමේ සිදුවීමට දෙවසරක් පිරීම නිමිත්තෙන් පැවැති විශේෂ දේව මෙහෙය අමතමින් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසුවේ, පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් කළ අය, දේවස්ථානය තුළ අත්බෝම්බයක් තැබූ සැබෑ අපරාධකරුවන් සහ පසුගිය කාලයේ ජනමාධ්‍යයට හිරිහැර කළ අය සොයා ගැනීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවයි.

“පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස සිටි අයට යුක්තිය ඉටුවන ආකාරය අපි තවම බලා සිටිනවා. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම සහ සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිටුපස සිටියේ කවුරුන්ද යන්න තවමත් කිසිවකු දන්නේ නැහැ. සියල්ල පාපිසි යට සඟවලා. රටේ දැවෙන ප්‍රශ්න විසඳනවාට වඩා අන්තර්ජාතික මුහුද ආරක්‍ෂා කිරීමට බලධාරීන් ප්‍රමුඛත්වය දෙන බවක් පෙනෙනවා,” උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

“2024 මැතිවරණ වසරක් බව අපට වැටහෙනවා. මෙවර ජනතාව නිසි නායකයන්ට රට භාරදෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එසේ වේවායි ප්‍රාර්ථනා කරනවා ”යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

Exit mobile version