රමේෂ් අටුව කඩා පුටුව හදන්නට සැරසෙයි!. අදුරේ අත පත ගා සල්ලි නාස්ති කිරීමක්!

ගෝඨාභයාගේ රාජ්‍ය පාලන කාලයේ සිට මේ දක්වා අවුරුදු කිහිපයට අමාත්‍යංශ වල අමාත්‍යවරු කි වරක් නම් මාරු වුවත් ඒ එක වරක්වත්, ඒක ඇමතිවරයෙකුටවත් තම තමන්ගේ අමාත්‍යංශ නිවැරදි, ජාතික ඉලක්කයක් කරා ගෙන යාමට නොහැකි විය.

වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සිදුව තිබෙන විනාශය සේම අනෙකුත් සියලුම ක්ෂේත්‍ර වල තිබෙන්නේ දුෂණය, වංචාව සහ විනාශය යි. සෞඛ්‍ය ක්ෂේත්‍රය විශේෂයෙන්ම කැපී පෙනෙන්නේ එය සෘජුවම මහජන ජිවිත සමග බැදී පවතින බැවිනි.

රටේ තත්වය එසේ තිබියදී රටේම සිදුවන එම වංචා, දුෂණ මෙන්ම අක්‍රමිකතා වලට එරෙහිව ජාතික වැඩපිළිවෙලක් දියත්  කරමින් නව නීතියක් සැකසිය යුතුව තිබෙන අවධියක  ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව හා විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීමේ අරමුණින් එය මුළුමනින්ම ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර තිබේ.

රමේෂ් පතිරණ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයෙන් පෙනෙන්නේ ප්‍රසම්පාදනය සහ පවතින නීති රාමුව පිළිබදව කිසිදු දැනුමක් ඔහුට නොමැති බවයි.

ජනතාවගේ බෙහෙත් පෙත්තෙනුත් ගසාගෙන කන සත්තුන්ටත් වඩා අන්ත මිනිසුන් ඉන්න රටක තවමත් සිදුවන්නේ ඒවාට උද ගෙඩි දීම පමණි.

අමාත්‍යවරයා කුමන ආකාරයේ ක්‍රම සැකසුවත් වර්තමාන ප්‍රසම්පාධන සංග්‍රහය සහ , දීර්ඝ කාලින වංචනිකයන් ඉන්න බැවින් එම කිසිදු ක්‍රමයකින් මෙම වංචා නවතින්නේ නැත.

එබැවින් අමාත්‍යවරයා කල යුත්තේ ඩිජිටල් කරමින් තවත් මිලියන ගණනාවක මුදලක් රටට අහිමි කිරීම නොවේ. කල යුත්තේ මෙම වංචා, දුෂණ පිළිබදව පුළුල් විගණන සිදුකරමින්, ඒ හරහා දැඩි දඩුවම් ලබා දීමේ ක්‍රමයක් ඇති කිරීමයි. 2006 ට පෙර පැවති ලෙසින්, ජාතික විගණනය ශක්තිමත් කරමින්, දැඩි දඩුවම් ලබා දීමේ ක්‍රමයක් ඇති විය යුතුය .  ඒ හැර අදුරේ අත, පත ගෑමෙන් සිදුවන්නේ තව දුරටත් මහජන මුදල් නාස්ති වීම පමණි.

ඒ අනුව රමේෂ් පතිරණ අමාත්‍යවරයා කුමන ක්‍රම ගෙන ආවත් 2006 අංක 49 දරණ ප්‍රසම්පාධන මාර්ගෝපදේශ සංග්‍රහයෙන් බිහි වූ හොරුන්, වංචනිකයන් පලවා හැරීමට නොහැක. එබැවින් කල යුත්තේ ඔවුන්ට දඩුවම් ලබා දීමේ ක්‍රමයක් ඇති කිරීමයි. වරදට දඩුවම් නොලැබෙන තාක්, රමේෂ් පතිරණ අමාත්‍යවරයා නොව කුමන වැඩකරුවෙක් ආවත් වංචා, දුෂණ නැවැත්වීමට නම් “අටුවා කඩා පුටුව හදා” වැඩක් නැත.

Exit mobile version