රඹුක්කන සිද්ධියට සැකකරුවන් වන්නේ පොලිස් නිලධාරීන් පමණ ද?

රඹුක්කන විරෝධතාකරුවන් “පලවා හැරීම සදහා අහසට තැබූ වෙඩි උණ්ඩ බිමට පතිත වී තිරස් අතට ගමන් කරමින් විරෝධතාකරුවන්ට තුවාල වූ බව”ට ප්‍රකාශ කරන ලද සිද්ධිය පොලිස්පතිවරයා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වන වගන්තිය භාවිතා කරමින් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතට පත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කටයුතු කරන ලදී.

අද පස්වරුව වන විට අදාළ වෙඩි තැබීම සිදුකල පොලිස් නිලධාරින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් නියෝග කර තිබුණි.

කෙසේ වුවත් පොලිස් නිලධාරීන් පමණක් අත් අඩංගුවට ගැනීමෙන් සිද්ධියේ සැබෑ තොරතුරු යට යැවීමට ඉඩ නොදිය යුතුය. එම දිනවලම විවිධ වාර්තාවල මෙන්ම පාර්ලිමේන්තුවේ පවා සදහන් වුයේ මෙම වෙඩි තැබීම සදහා කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු නියෝග කල බවයි. එසේ සිදුකිරීම සදහා යම් අමාත්‍යවරයෙකු බලපෑමක් සිදුකර තිබෙන්නේ නම්, එසේ අනාවරණය වන්නේ නම් ඔවුන්ටද නීති පොත පෙරලිය යුතුය. ඔවුන්ද මෙරට පුරවැසියන් වන අතර රාජකාරියට බාධා කිරීමට ඔවුන්ට නීතිමය වශයෙන්ද බලයක් ලබා දී නැත.

එසේම විවිධ වාර්තා වලට අනුව ඉන්ධන තිබියදීත් ඉන්ධන නිකුත් නොකිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේද යන්නද සොයා බැලිය යුතුය. අප දුටු පත්තර වාර්තාවකට අනුව, ඉන්ධන මිල වැඩි කිරීමට නියමිතව තිබු නිසා එදින පමණක් ඉන්ධන බවුෂර් 350 කට වඩා ඉන්ධන ලබා නොදුන් බවද වාරතා විය. එසේ නම් මේ මහජන කැලඹීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනාධිකාරියද වග කිව යුතුය. රට තුල ඉන්ධන හිඟවීම නිසා ජනතව දින ගණන් පෝලිම්වල සිටිනා බව දැන දැනම මහජන මුදලින් ලබා ගන්නා ඉන්ධන ජනතාවට බෙදා දීමට කටයුතු නොකළේ නම් ඔවුන්ද රඹුක්කන මහජන කැළඹීමට වග කිව යුතුය. කෙසේ වුවත් ඉන්ධන තිබියදී එසේ කලේද නැද්ද යන්න නිසි ලෙස සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් වෙනමම ද යෙදිය යුතු වුවත් තවමත් එසේ කිරීමට කිසිවෙකුගේ අවධානාය යොමුව තිබෙන බවක් වාර්තා නොවේ.

මහජන කැළඹීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙන්ම අදාළ ඉන්ධන හලේ පලනාධිකරියද කටයුතු කර තිබේද යන්න සොයා බැලිය යුතුය. අපට එදින වාර්තා වූ අන්දමට නම් ඉන්ධන මිල ඉහල යන තෙක් ඉන්ධන බවුෂරයේ තිබු ඉන්ධන ටැංකි වලට යොමුකර නැත. නමුත් ඒවා නිශ්චිතවම සාක්ෂි සහිතව සොයාගත හැක්කේ පරීක්ෂණ කණ්ඩායම් වලට පමණි.

එබැවින් මේ සිද්ධිය පොලිස් නිලධාරීන් මත පමණක් නොතබා අදාළ සියලුම පුද්ගලයන් සොයාගැනීම ඉතාම වටිනා පරීක්ෂණයක් වනු ඇති අතර එයින් අනෙකුත් සියලුම රාජ්‍ය නිලධාරීන් මෙන්ම පොලිස් රාජකාරිය දේශපාලනීකරණය කරන්නට දගලන දේශපාලන අධිකාරියටද ඉතාම වටිනා පණිවිඩයක්ද ලබා දෙනු ඇත. අදාළ උසස් පොලිස් නිලධාරීන් විසින් එසේ යම් අමාත්‍යවරයෙකු උපදෙස් නොදුන් බව සඳහන් කළහොත් දුරකථන වාර්තා හෝ ලබාගෙන පරීක්ෂණ කල හැකිය. එසේම එම ස්ථානයේ තිබු සාමකාමී බව නැති කලේ කුමන දේශපාලකයෙකුගේ ගෝලයන්ද?. මේ සියල්ලම කෙරෙහි රහස් පොලිසියේ උකුසු ඇස් යොමුව ඇති බවට අප විශ්වාස කරමු.

මහජනතාව සහ පොලීසිය යනු එකිනෙකට බැදුණු දම්වැලක පුරුක් දෙකක් මෙනි. අවසානයේ පොලිසිය සහ මහජනතාව අතාර ගැටුම් ඇතිකිරීමට කටයුතු කර තිබෙන සියලුම දෙනා හදුනාගෙන ඔවුන්ට විරුද්ධව නීතිය අකුරටම ක්‍රියාත්මක කරමින් පොලිස් දෙපාර්තමේන්තුවේ ගරුත්වය රැක ගැනීම සදහා කටයුතු කල හැකි හොඳම අවස්තාව මෙම අවස්ථාවයි. දේශපාලනය නිසා වැනසෙන පොලීසියේ වැනසීම නවතා ගැනීමට ඇති හොඳම අවස්ථාවද මෙයයි. නැවතත් මෙවැනි අවස්තාවක් උදා වීමක් කවදා සිදු වේදැයි විශ්වාස කල නොහැක. සියල්ලම අරාජික වූ අවස්ථාවේ සාධාරණ පරීක්ෂණ යට ගැසීමට යම් පුද්ගලයෙකු බලපෑම් කරන්නේ නම් ඔවුන්ටද විරුද්ධව අධිකරණයට කරුණු කීමට හොඳම අවස්තාව උදා වී තිබේ.  කෙසේ වුවත් නීතියානුකූල සාක්ෂි නොමැතිනම් එසේ කිරීමටද නීතිමය වශයෙන් ප්‍රතිපාදන නැත.

Exit mobile version