ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබා දී තිබුණ ද මේ වන තෙක් අදාළ සමාගම් විසින් ඒ සඳහා ඉල්ලීම් කර නොමැති බවයි.
පසුගිය නොවැම්බර් මස 30 වනදා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් රසායනික පොහොර ආනයනය තහනම් කර නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.
ඒ අනුව රසායනික පොහොර ගෙන්වීමට අදාළ පොහොර සමාගම් වෙත අවසර ලැබුණ ද මේ වන තෙක් ඔවුන් ඒ සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ.
සමාගම් විසින් පොහොර ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නැවත විවෘතකිරීමෙන් අනතුරුව අදාළ ඉල්ලීම් සිදුකරන බවත්, ඉන් පසු එම ඉල්ලීම් පිළිබඳ සලකා බලා ඔවුන්ට පොහොර ආනයනය කිරීම සඳහා අවසර ලබාදෙන බවත් එහිදී යම් යම් සීමාවන් පැනවීම සම්බන්ධයෙන් සලකාබැලීමට නියමිත බවත් ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කරයි.