රාජ්‍ය නිලධාරීන්, දුප්පත් ජනතාවගේ “අස්වැසුමට” ගිනි තැබූ හැටි!.

රට පුරා පැවති උද්ඝෝෂණ.

අස්වැසුම සහනාධාර සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ ක්‍රමවේදයෙන් තමන්ට අසාධාරණයක් වී යැයි පවසමින් දිවයිනේ ප්‍රදේශ රාශියක අඩු ආදායම්ලාභී ජනතාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට ඊයේ (ජූනි 26) උද්ඝෝෂණවල නිරත වූහ. ඒ අතර ගොඩකවෙල, මනම්පිටිය හසලක, බියගම, දෙල්ගොඩ, නෝර්වුඩ්, ගාල්ල, බොරලන්ද, ඇලයාපත්තුව, කුරුණෑගල, පල්ලේපොළ, බද්දේගම ඇතුළු දිවිනේ ස්ථාන රැසක මෙම උද්ඝෝණ පැවැත්විණි.

මෙම සහනාධාර ක්‍රමය යටතේ සහනාධාර ලැබීමට සුදුසුකම් නොලැබූ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් අඩු ආදායම් ලාභී ජනතාව උද්ඝෝෂණයක නිරතවෙමින් විනාඩි කිහිපයකට රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයද අවහිර කළේය. ඒ අතර වැලිකන්ද ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයක් අසලින් ගමන් ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා වැලිකන්ද ප්‍රදේශයට යන අතරතුර වාහනයෙන් බැස මනම්පිටියේ විරෝධතාවක සිටි විරෝධතාකරුවන් සමග කතා කිරීමට උත්සහ කළ ද එහිදී මන්ත්‍රීවරයාට විරෝධතාකරුවන් දැඩි විරෝධය පළ කර හූ හඬ දුන්හ.

මෙහිදී විරෝධතාකරුවන් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර ජගත් සමරවික්‍රම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව උදෙසා මනම්පිටිය පොලිසිය මන්ත්‍රීවරයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට රැගෙන යාමට කටයුතු කළේ ය.මීට පෙර මෙම ජනතාවට හිමිවුයේ සමෘද්ධි දීමනාව වන අතර එය ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරී, සංවර්ධන නිලධාරී හා ග්‍රාම නිලධාරී එක්ව ජනතාවගේ නිවෙස් වලට ගොස් තොරතුරු ලබාගනිමින්  නාම ලේඛනය සකසා ඇති නමුත් මෙවර අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීම සදහා නැවත වරක් දත්තයන් සැකසීමේදී ඉහත සදහන් නිලධාරීන් එම ලේඛන සැකසීමෙන් ඉවත්ව වෙන ලදී. ඒ සදහා තාවකාලිකව බදවාගත් පිරිසක් විසින් මෙම අස්වැසුම ප්‍රතිලාභ ක්‍රමය සදහා ජනතාව  තෝරාගැනීමට රාජ්‍ය පරිපාලනය කටයුතු කොට තිබෙන බවට ජනතාව චෝදනා කළේය.

සමාජ සුභසාධනය පිළිබඳව 2022 පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ලේකම්වරු අනාගැනීම.

2022 9 13 දින හෝ ආසන්න දිනයකදී රජයේ පුවත් දෙපාර්තමේන්තුවේදී මෙම “අස්වැසුම” සුභසාධන යෝජනා ක්‍රමය පිළිබඳව අදාළ අමාත්‍යංශ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවේදී වර්තමානයේ මෙම සිද්ධිය සිදුවන බවට මාධ්‍යවේදීන් විසින් පෙන්වා දෙන ලදී. කෙසේ නමුත් එදින මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලදී, මෙම ගැටළු ඇතිවන බවට පෙන්වා දුන් ප්‍රශ්න සහිත වීඩියෝව ඉවත්කිරීමට රජයේ පුවත් බලධාරියා විසින් කටයුතු කර තිබුණි. අප ඇසු ප්‍රශ්නවලින් නිසි පිළිතුරු ලබා දීමට නොහැකිව ඔවුන් කිහිපදෙනෙකු වටේ ගියේය. එහිදී එක් ලේකම්වරයෙකු “පවුල” පිළිබදවද වැරදි නිර්වචනයක් ලබා දුන්නේය. කෙසේ නමුත් එම මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට ඔවුන් අපොහොසත් විය. නමුත් ලේකම්වරුන්ගේ මූලික පැහැදිලි කිරීම් පහතින් බැලිය හැකිය.

2023 09 13 දිනැති මාධ්‍ය සාකච්ඡාව

සමෘද්ධි සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් විරුද්ධ වීම.

සමෘද්ධි සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් යනු මෙරට ආණ්ඩු පෙරලීම උදෙසා දේශාපාලන නායකයන් විසින් නිර්මාණය කරගත් රාජ්‍ය නිලධාරීන්ගෙන් සැදුම් ලත් බලාධිකාරීන් දෙකකි. මෙම රාජ්‍ය අංශ දෙකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිනි. සමෘද්ධි සංවර්ධන අධිකාරිය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය යටතේත්, ආර්ථික සංවර්ධන නිලධාරීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත් යටතේත් නිර්මාණය කරන ලදී. මේ දෙපාර්ශ්වටම බදවා ගත් බොහෝ ශ්‍රී ලාංකිකයන් දේශාපලන පාක්ෂිකයන්ගේ සමීපතමයන්ය. “ ජනසවිය” යන වචනය ඉවත් කර ආරම්භ කල “සමෘද්ධිය” යන වචනය ඉවත් කිරීමට ඔවුන් දැඩි සේ විරුද්ධ වන්නේ ඉන් දේශාපලන න්‍යායයන් ඉවත්වෙන බැවිනි.

ඒ අනුව මෙම නිලධාරීන් දෙපාර්ශවයම මෙම “අස්වැසුම” සමීක්ෂණයට එරෙහි විය. ඔවුන් ඉන් ඉවත් විය. ඉන් අනතුරුව ඔවුන් දිගින් දිගටම මාධ්‍ය නිවේදන නිකුත්කරමින් ප්‍රකාශ කලේ ලක්ෂ ගණනාවකට මෙම ප්‍රතිලාභය අහිමි වන බවයි.  ඒ අනුව මෙම දේශාපලන නිලධාරීන් නොහොත් දේශපාලනය වෙනුවෙන් තම රාජ්‍ය බලය භාවිතා කරන නිලධාරීන් දෙපාර්ශවයම වර්තමාන තත්ත්වය ඇති කිරීම සදහා දැවැන්ත කුමන්ත්‍රණයක් දියත් කල බවට සැක පළ කර ගත හැකිය.

වර්තමානයේ මෙසේ සිදුවන බවට 2022 දීම අප පෙන්වා දීම.

වර්තමානයේ මෙසේ සිදුවන බවට 2022 09 13 දින රජයේ පුවත් දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්ඡාවේදී අප පෙන්වා දුන් නමුත් ලේකම්වරු සියලුම දෙනාම පාහේ ප්‍රකාශ කළේ මෙවැනි දෙයක් සිදු නොවන බවයි. අප දිගින් දිගටම එය පෙන්වා දීමේදී ඔවුන් ප්‍රකාශ කළේ වැරදි දත්ත ඇතුලත් කර තිබුණහොත් අදාළ රාජ්‍ය නිලධාරින් එයට වගකිව යුතු කෙසේ නමුත් එම ප්‍රකාශයන් සහිත වීඩියෝ අප වෙත ලබා දීම රජයේ පුවත් බලධාරියා විසින් කපා හැර තිබේ. එය රජයේ පුවත් දෙපාර්තමේන්තුවේ තිබේ නම් නැවත බැලීමට ඔවුන්ට හැකියාව තිබේ.

පරිගණක පද්ධතිය දෝෂ සහිත බවට සැකපල කිරීම.

“නිලධාරින් පිස්සු නැටුවත් දේශපාලකයින් පිස්සු නැටුවත් මෙහෙම පිස්සුවක් වෙන්න බෑනෙ.  ඒ නිසා සමීක්ෂණ නිලධාරියෙකුගේ සහයෙන් මම දත්ත බැංකුවට ඇතුළු වෙලා බැලුවා.  ඒක පිස්සිගේ පලා මල්ල වගේ.  මාසික වියදම රු 45,000 කියා දත්ත ඇතුළු කළ කෙනෙකුගේ මාසික වියදම ලෙස දත්ත බැංකුවේ තිබෙන්නේ රු111,200ක්.  අත්දැකීමක් නැති නිසි පුහුණුවක් නැති සමීක්ෂණ නිලධාරින් අතින් වැරදි වෙන්න පුළුවන්. නමුත් මේ ප්‍රමානයට වැරදි වෙන්න බෑ. ඒ නිසා මේක මෘදුකාංගයේ දෝෂයක් ලෙසයි අපි හදුනා ගන්නේ”, ලෙස ප්‍රකාශ කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතායි. 

නිගමනය  

ඒ අනුව අපට පෙනී යන්නේ මෙය දිගින් දිගටම ඉතාම සැලසුම් සහගතව සිදුකර තිබෙන ක්‍රියාවක් බවයි. ඉන් ප්‍රථම හේතුව වන්නේ අප සහභාගි වූ මාධ්‍ය සාකච්ඡාවේදී අදාළ ප්‍රශ්න ඇසු වීඩියෝ මාධ්‍ය ආයතන වෙත ලබා නොදීමට රජයේ පුවත් දෙපාර්තමේන්තුවේ යම් බලධාරියෙකු විසින් කටයුතු කර තිබීමයි. එම මාධ්‍ය සාකච්ඡාවේදී බලධාරීන් විසින් ප්‍රකාශ කල ආකාරයෙන් මෙම කටයුතු සිදුව නැත. මෙම කුමන්ත්‍රණයේ දෙවැනි කොටස ලෙස අප හදුනා ගන්නේ සමීක්ෂණයෙන් ඉවත්වීමට රාජ්‍ය නිලධාරීන් කටයුතු කිරීමයි. එහි තුන්වැනි කුමන්ත්‍රණය ලෙස අප හදුනා ගන්නේ සමීක්ෂණයේ ප්‍රතිපල නිකුත් වීමටත් ප්‍රථමව සමෘද්ධි සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් “සුදුසුකම් තිබෙන පුරවැසියන්ගෙන් ලක්ෂ ගණනාවකට මෙම දීමනවා අහිමිවනවා” යැයි විවිධ මාධ්‍ය නිවේදන නිකුත් කරමින් ප්‍රකාශ කිරීම. එය එසේ වන බවට ඔවුන් දැනගත්තේ කෙසේද?. ඒ අතරේ මෙය “මෘදුකාංගයේ දෝෂයක් ලෙස” අර්ථ දැක්වීමට විවිධ පුද්ගලයන් උත්සාහ කලත්, ප්‍රථම දින සාකච්ඡාවට අනුව එවැනි වැරදි සිදුවිය නොහැක. යමක් කිරීමට පෙර මහජන මුදලට යුක්තිය ඉටුකිරීමට ඔවුන් දැනගත යුතුමය. එය ඔවුන්ගේ වගකීමය. දුගී දුප්පත් ජනතාව හෝ මෙරට විවිධ ආකාරයෙන් බදුගෙවන ජනතාව උස්සා පොලවේ ගැසීමට ඉඩ නොතැබිය යුතුමය.   මෘදුකාංගයේ දෝෂයක් නම් එය වහාම නිවැරදි විය යුතුව සේම මෙසේ මහජනතාව කැළඹුණු හේතුවට වග කිව යුතු රාජ්‍ය නිලධාරින් කවුද යන්න සොයා යා යුතුය. එසේ නොමැතිව තම දේශපාලන අරමුණු වෙනුවෙන් මහජනතාව බිල්ලට තියන රාජ්‍ය කිසි දිනයක තම පටු අරමුණු නොනවත්වනු ඇත. රටක් ලෙස ඉදිරියට යාමට නම්,  ඔවුන්ගේ පටු, පවිටු අරමුණු වලට ඉඩ නොදිය යුතුමය.    

ගොඩකවෙල උද්ඝෝෂණය

Exit mobile version