රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගෙන් පැමිණිල්ලක්. පරීක්ෂණයක් ඉල්ලයි.

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිපියක් යවා තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ පදනම් විරහිත චෝදනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පොලිස්පතිවරයා වෙත ලිපියක් යවා ඇත. ඒ අනුව පදනම් විරහිත සහ නොමඟ යවනසුළු චෝදනා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහු පාර්ලිමේන්තුවේ කථානායකවරයාට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකා ගාඩියන් පුවත් වෙබ් අඩවියට අනූව එම ලිපියේ සඳහන් වන්නේ මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ ප්‍රධාන බුද්ධි අංශයේ ප්‍රධානියා වන SIS පුද්ගලිකව ඉලක්ක කර ගනිමින් ඔහුගේ පාර්ලිමේන්තු වරප්‍රසාද දැඩි ලෙස අවභාවිතා කළ බවයි.

මන්ත්‍රීවරයා විසින් තමාට එරෙහිව එල්ල කරන පදනම් විරහිත චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන අතරේම මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පාස්කු ප්‍රහාරයට හෝ කිසිදු ආකාරයක ත්‍රස්තවාදී ක්‍රියාවලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එම ලිපියෙන් නැවතත් අවධාරණය කර සිටියි.

“ප්‍රහාරය සිදුවී වසර 3 ක් ගතවී ඇති අතර, මම, පාර්ලිමේන්තු සහ ජනාධිපති කොමිෂන් සභා මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේදී ද කිහිප වතාවක්ම සාක්ෂි ලබාදී තිබෙනවා. මෙම ප්‍රහාරයන්ට මා හවුල් යැයි කිසිදු පරීක්‍ෂණයකින් ඇඟවීමට හෝ සොයාගැනීමට තරමේ සාක්ෂියක් ලැබී නොමැත.” යනුවෙන්ද එහිදී මේජර් ජෙනරාල් සලේ යළි තහවුරු කර සිටියි.

එවැනි පදනම් විරහිත චෝදනාවල ප්‍රතිවිපාක පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. “දේශපාලනඥයන්ගේ මෙවැනි පදනම් විරහිත ප්‍රකාශයන් නිසා බරපතළ ආකාරයේ ගැටළු නිර්මාණය වීමේ අවධානමක්, පරිසරයක් ඇති වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස මා සහ මගේ පවුල විශාල අවධානමකට ලක් කරන අතර එය අපගේ ආරක්ෂාව දැඩි ලෙස අනතුරේ හෙළයි.”

“මනූෂ නානායක්කාර මහතා විසින් කරන ලද මෙම ප්‍රකාශයන් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයකින් සියලු දෙනාටම යහපතක් වනු ඇතැයි මම විශ්වාස කරමි. ඔබට මේ පිළිබඳව කඩිනමින් පරීක්ෂණයක් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගැනීමට හැකි නම් මම බෙහෙවින් ස්තූතිවන්ත වෙමි.” යනුවෙන් සිය ලිපිය අවසන් කරමින් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ පිලිබදව වැඩි දුරටත් වාර්තා කරමින් අරුණ පුවත්පත සදහන් කරන්නේ පොලිස්පතිවරයා විසින් මේ පිළිබදව කතානායකවරයා වෙත දන්වා ඇති බවයි.

එසේම රාජ්‍ය බුද්ධි සේවය දේශපාලනීකරණය වී තිබෙන බව 2021 දෙසැම්බ්ර් 05 වැනි දින අනාවරණය කලේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති මොහොමඩ් හෆිස් මාසෝ මහතා චමුදිත සමරවික්‍රම මහතා සමග අනත්රජාල නාලිකාවක පැවති සාකච්චාවකදීය.

Exit mobile version