වාර්තමාන රජයේ මර්ධනයේ ඉලක්කය මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරිකයින්, වෘත්තිකයන් සහ සිවිල් පුරවැසියන් ඈතුලු සියලුම දෙනා බැවින් එම මර්ධනයට විරුද්ධ විය යුතු බව රසික ජයකොඩි මහතා පාවසයි. ඒ පිලිබදව ඔහුගේ මුහුණු පොතේ සටහන් කර තිබේ.
උපුටා ගැනීම –
“මේ මොහොතේ ආණ්ඩුව විසින් සමාජය මත මුදාහැර ඇති දැවැන්ත මර්දනයට හෘදය සාක්ෂියක් තියෙන කිසිම කෙනෙකුට එකඟ වන්නට පුළුවන්කමක් නැහැ.
ඔබට මේ දෙස බැලූබැල්මට පෙනෙන්නේ මෙය පුරවැසි අරගලයට සම්බන්ධ ඇතැම් පාර්ශ්වකරුවන් මත මුදා හැර ඇති මර්දනයක් පමණයි කියලයි.
එහෙත් මේ මර්දනයේ ඇත්ත ඉලක්කය වන්නේ සමස්ත සමාජයමයි – මේ ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නේ සමස්ත සමාජය ම බියට පත් කරන්නයි. මේ සමාජයේ ඉන්න සියලු ම දෙනා කිසිදු භේදයකින් තොරව, කොන්දේසි විරහිතව මෙම මර්දනයට විරුද්ධ විය යුත්තේ ඒ හේතුව නිසයි.
මේ මර්දනයට විරුද්ධ වීම කියලා කියන්නේ අරගලයේ සිටි ඇතැම් කොටස් විසින් ජූලි 09 වැනිදායින් පසු මන්දිර අල්ලාගනිමින්, දේපල විනාශ කරමින්, ටීවී චැනල් අල්ලාගන්නට හදමින්, පාර්ලිමේන්තුව වටලමින් කළ ඔල්මාද වැඩවලට පක්ෂ වීම නෙවෙයි.
රාජ්‍ය මර්දනයට විරුද්ධ වීම කියලා කියන්නේ සමාන්තර විශ්වයක ජීවත්වන බංකොළොත් වාමාංශිකයන් පිරිසක් විසින් පුරවැසියන් ගේ පොදු අරගලයකට බලෙන් උප්පැන්න දෙන්නට ගොස් ඇති කරගත් විකෘතිය සාධාරණීකරණය කිරීම නෙවෙයි.
රාජ්‍ය මර්දනයට විරුද්ධ වීම කියලා කියන්නේ exit strategy එකක් නැතිව ශිෂ්‍ය අරගල කරනවා මෙන් අරගල කරන්නට ගොස්, අවසානයේ අරගලයේ කොඳු නාරටිය බඳු වූ මධ්‍යම පංතියේ සැළකිය යුතු කොටසක ගේ සහයෝගය ද අහිමි කරගෙන සිදු කරගත් ස්වයං-හුදෙකලා කරගැනීමට සුදු හුණු ගෑම නෙවෙයි.
අරගලයේ මූලික අරමුණු විනාශ වෙන අන්දමට ගෙවල් ගිනි තැබූ අයට එරෙහිව, දේපල විනාශ කළ අයට එරෙහිව, භාණ්ඩ සොරකම් කළ අයට එරෙහිව පැහැදිලි සාක්ෂි මත පදනම්ව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. එහෙත් මේ සිදුවන්නේ එතැනින් එහාට ගොස් සිදු වන, එයට වඩා systematic සහ සැලසුම් සහගත බිය ගැන්වීමේ ක්‍රියාවලියක් බව පැහැදිලියි.
රාජ්‍ය මර්දනයට විරුද්ධ වීම කියලා කියන්නේ මේ නිශ්චිත මොහොතේ, යහපත් සහ ප්රජාතන්ත්රවාදී රටක් බලාපොරොත්තු වෙන ඕනෑම අයෙකු විසින් පෙනී සිටිය යුතු දෙයයි. අනෙක් හැම දෙයක් ම පසුව විසඳාගත හැකි ප්‍රශ්නයි.
අද දවසේ මර්දනයේ හස්තය දිගුවන්නේ අරගලය තුළ සිටි නිශ්චිත පුද්ගලයන් ඉලක්ක කරගෙන වන්නට පුළුවන්.
ඔවුන්ගෙන් සමහරුන් සිදු කළ ඔල්මාද වැඩ නිසා සමාජයේ කිසියම් පිරිසකගෙන් මේ මර්දනයට නිහඬ සහයෝගයක් ලැබෙනවා වෙන්නත් පුළුවන්.
එහෙත් අප අමතක නොකළ යුතු කාරණය වන්නේ රාජ්‍ය මර්දනය අරගලය තුළ සිටි නිශ්චිත පුද්ගලයන් ඉලක්ක කිරීමෙන් විතරක් අවසන් වන්නේ නැති බවයි.
හෙට දවසේ , මේ ආණ්ඩුවට විරුද්ධව කතා කරන, වැඩ කරන, පාරට බහින සියලු දෙනාට විරුද්ධවත් මේ මර්දනය මීටත් වඩා දරුණු අන්දමින් ක්‍රියාත්මක විය හැකි බවයි.
අවසානයේ ලංකාවේ මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරිකයින්, වෘත්තිකයන් සහ සිවිල් පුරවැසියන් යන සියලු දෙනා ම මේ මර්දනයේ ගොදුරු බවට පත්විය හැකි බවයි.
අද ඔබ මේ මර්දනය නිහඬව ආශ්වාදනය කළොත් හෙට මෙය ඔබ කරා එන විට ඔබ වෙනුවෙන් කතාකිරීමට කිසිවෙකුත් ඉතිරි වන්නේ නැහැ. එතැන දී තනි තනි මිනිසුන් ඉතා ම පහසුවෙන් ගොදුරු බවට පත්වෙනවා.
ලෝකයේ මොන තැනක, මොන විදියට රාජ්‍ය මර්දනය දියත් වුණත් එහි අවසන් ප්‍රතිඵලය වන්නේ එයයි.”
රසික ජයකොඩි
28 – 07 – 2022
උපුටා ගැනීම අවසන්