අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සමට අදාළව මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස් සහ ඩලස් අලහප්පෙරුම සිය නීතිඥවරු මාර්ගයෙන් අද (23) අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ.
මෙම පෙත්සම අද මොහොමඩ් ලෆාර් තාහිර් සහ ඛේමා ස්වර්ණාධිපති යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය ජී. එල්. පිරිස් සහ ඩලස් අලහප්පෙරුම සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම පෙත්සම් විභාගයට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටියහ.
ඉන් අනතුරුව සියලු පාර්ශ්ව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වනදා කැඳවන ලෙස නියෝග කර තිබේ.
මෑතකදී පාර්ලිමේන්තුවේදී අභියාචනාධිකරයේ සභාපති විනිසුරුවරයාට අපහාසාත්මක වන ප්‍රකාශයක් සිදු කිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා රොෂාන් රණසිංහ ට එරෙහිව නීතිඥ දිමිත්‍රී ශිරාස් ඔගස්ටස් පිට්රාන්ජලි විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතීඥ චන්දන ජයසුන්දර පෙනී සිටින අතර වග උත්තරකාර රොෂාන් රණසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා පෙනී සිටි අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතීඥ නවීන් මාරපන පෙනී සිටි බව සදහන්.