රෝහල් ග්‍රහණය කර ගත් නොනවතින යුද්ධය

ගාසා තීරයේ ක්‍රියාත්මක වන රෝහල්, රටවල් රැසක ආධාර යටතේ පවත්වාගෙන යන ඒවා වන අතර උතුරුදිග ගාසා තීරයේ විශාලතම රෝහල් සංකීර්ණය පවත්වාගෙන යන්නේ ලොව විශාලතම මුස්ලිම් ජනගහණයක් වෙසෙන රටවන ඉන්දුනීසියාවේ ආධාර යටතේය.

වාර්තා වන ආකාරයට පාමුල උමං මාර්ගවල හමාස් සටන්කාමීන් රැඳී සිටින බවත් ඔවුන් එහි සිට ඊශ්‍රායල හමුදා වෙත ප්‍රහාර දියත් කරන බවත් එය ප්‍රතික්ෂේප කරන හමාස් සංවිධානය තමන් රෝහල් පරිශ්‍රයන් අසල ක්‍රියාත්මක වන්නේදැයි පරීක්ෂා කිරීමට ජගත් සංවිධාන නියෝජිතයන් එවන ලෙස ද ඉල්ලා සිට තිබේ.

හමාස් සංවිධානය ප්‍රකාශ කළේ ඊශ්‍රායලය අමානුෂික අන්දමින් ගාසා තීරයේ රෝහල් වෙත ප්‍රහාර එල්ලකර එම ප්‍රහාර සාධාරණීකරණය කිරීම සඳහා ප්‍රලාපයන් පතුරවන බවයි.

ගාසා තීරයේ ඉන්දුනීසියානු රෝහල එහි පලස්තීනුවන්ගේ වෛද්‍යමය අවශ්‍යතා සඳහා සම්පූර්ණ මානුෂීය මෙහෙවරක් ලෙස ක්‍රියාත්මක වන බවත් පලස්තීන බලධාරීන් විසින් එය පවත්වාගෙන යන්නේ ඉන්දුනීසියානු ස්වෙච්ඡා සේවකයන්ගේ සහායෙන් බවත් ඉන්දුනීසියානු විදේශ අමාත්‍යාංශය කියා තිබේ.

කෙසේ නමුත් ඊශ්‍රායලය විසින් ගාසා තීරයට සිදුකරන ඉන්ධන සැපයුම් අත්හිටුවීම නිසා ගාසා තීරයේ ඉන්දුනීසියානු රෝහල් කටයුතු මේ වනවිට අඩාල වී ඇති බව ඉන්දුනීසියානු රෝහලේ – ස්වෙච්ඡා සේවක කණ්ඩායම ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායල – හමාස් සටන ආරම්භවීමෙන් පසු හමාස් ඇතුළු පලස්තීන සන්නද්ධ සංවිධාන වෙත ලැබෙන මූල්‍ය ප්‍රවාහ වැළැක්වීමට අමෙරිකා එක්සත් ජනපදය පියවර රැසක් ගත්තේය.

හමාස් සංවිධානයට ජාත්‍යන්තර මූල්‍ය ලැබීම් වැළැක්වීමේ පනත් කෙටුම්පත අමෙරිකානු කොංග්‍රසය මගින් පසුගිය සතියේ අනුමත කළ අතර, එය සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමුකර තිබේ.

එමගින් පලස්තීන සංවිධානවලට මූල්‍යාධාර ලබාදෙන රටවල් සහ සමාගම් වෙත සම්බාධක පැනවීමට අමෙරිකාව අදහස් කර තිබේ.

කෙසේ නමුත් මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් ප්‍රකාශ කළේ අමෙරිකානු පනත සම්බන්ධයෙන් තමන් අවධානයෙන් පසුවන බවය.

අදාළ පනත යටතේ මැලේසියාවට කිසියම් සම්බාධකයක් පැනවුවහොත් එය මැලේසියාවේ අමෙරිකානු ආයෝජන කෙරෙහි ද බලපාන බව අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් සඳහන් කර තිබේ.

මැලේසියාව පලස්තීනුවන්ගේ අයිතීන් වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටි අතර ඊශ්‍රායලයට සහ පලස්තීනුවන්ට රාජ්‍යයන් දෙකක් බිහි කිරීමේ සැලැස්මට සහාය වන බව තවදුරටත් වාර්තා වේ.

Exit mobile version