ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කල හරීන් තිස්සගෙනුත් විරෝධයක්!

හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා ‘ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්’ යැයි කළ ප්‍රකාශය බරපතළ ප්‍රකාශයක් බවත් එම ප්‍රකාශයෙන් ලංකාවේ ස්වෛරීත්වයට දැඩි බලපෑමක් එල්ල වන බවත් කැබිනට් ඇමැතිවරයෙක් මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඊයේ (19) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රකාශ කළේය.

තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසූ අදහස්,

‘‘ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු ඉන්දියාවේ පැවැති ව්‍යාපාරික සමුළුවකදී ප්‍රකාශ කරලා තිබෙනවා. මේක බරපතල ප්‍රකාශයක්. ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට ප්‍රකාශ කිරිමෙන් ලංකාවේ ස්වෛරීත්වයට දැඩි බලපෑමක් එල්ල වෙනවා. ශ්‍රී ලංකාව 1948 නිදහසින් පසු ස්වෛරී රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා. එවැනි අවස්ථාවේ කැබිනට් ඇමැතිවරයෙක් විසින් මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරිමෙන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා. කැබිනට් ඇමැතිවරයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා නොකිරිම බරපතල වරදක්. ඒම ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය දැඩි අප්‍රසාදය පළ කරනවා. ලෝකයේ සෑම රටක් සමඟ සහෝදරත්වයෙන් සහ රාජ්‍යත්‍රාන්ත්‍රිකව සම්බන්ධතා ඇතිව ක්‍රියා කළ යුතුයි. ඉන්දියාව සමඟ සුහද සම්බන්ධතාවයක් පවත්වා ගැනීම වැදගත්. ඉන්දියාව සමඟ තිබෙන රාජ්‍යත්‍රාන්ත්‍රිකව සම්බන්ධතා , ආර්ථික සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් කළ යුතුයි. නමුත් ඉන්දියාවේ කොටස් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වනවානම් එය වැරදි දෙයක්. හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා වහාම එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතුයි” ලෙස ප්‍රකාශ කරන ලදී.

Exit mobile version