දේශීය බිත්තර මිල රුපියල් 30 ත් 35 ත් අතර මුදලකට පාරිභෝගිකයා හට කිසිදු හිඟයකින් තොරව ලබා ගැනීමට හැකි වූ වහාම බිත්තර ආනයනය නතර කිරීමට රජයේ අවදානය යොමුව ඇති බව වාර්තාවේ.
බිත්තර ආනයනයට පෙර දේශීය බිත්තර නිෂ්පාදකයන් බිත්තරයක් රුපියල් 60 ත් 65 ත් අතර මිලකට අලෙවි කරමින් අසීමිත ලාභ ලැබූ බවත් රජය මැදිහත්වී බිත්තර ආනයනය කිරීමෙන් පසු බිත්තරයක මිල රුපියල් 40 ත් 45 ත් දක්වා අඩු කිරීමට ඔවුන්ට සිදු වී ඇති බවත් රාජ්ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සදහන් කොට තිබේ.
ඒඅනුව මේ වනවිට බිත්තර ලක්ෂ 750 ක් ආනයනය කොට රටපුරා ලංකා සතොස හා සුපිරි වෙළෙඳසල් හරහා පාරිභෝගික ජනතාවට අලෙවි කර ඇති බවත් ඒ මහතා කීය.
සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා සදහන් කර ඇත්තේ ලබන දෙසැම්බර් මාසය වනවිට ශ්රී ලංකාව දේශීය බිත්තරවලින් ස්වයංපෝෂිත වන බවත් ඉන් අනතුරුව දේශීය බිත්තරයක මිල රුපියල් 30 ත් 35 ත් අතර මිලකට අඩු වන බවයි.