ලොවට අහිමිවන සබරගමුවේ දිගම සෙල්ලිපිය සහ ගල් සොරොව්ව (වීඩියෝ). සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාගේ සහ දිස්ත්‍රික් සම්බන්කධීරණ කමිටුවේ අවධානය පිණිසයි!

(පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බැවින් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීමක් අවශ්‍යව තිබේ. මධ්‍යම ආණ්ඩුවට බලපෑම් කිරීමට හැකියාව නැතත් ප්‍රදේශයේ සම්පත් ආරක්ෂා කිරීම වෙනුවෙන් මැදිහත්වීම් කිරීමට ආණ්ඩුකාර තැනට බලය තිබේ. එසේම මේ සියල්ලම වෙනුවෙන් ගත යුතු නීතිමය ක්‍රියා ක්‍රියාත්මක කරවීමේ බලය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට තිබේ)

ශ්‍රී ලංකාවේ කිරුම් මිනුම් ඉතිහාසය දැක්වෙන පැරණිතම ගම්මානය පිහිටා තිබෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශයට අයත් ගල්පාය සහ බඹරගල ග්‍රාමසේවා වසම් තුලය. ක්‍රි.පු 3 වන සියවස දක්වා දිවෙන බ්‍රාහ්මීය අක්ෂරද පිහිටා තිබෙන මෙම ප්‍රදේශයේ ශ්‍රි ලංකාවේ පිහිටා ඇති පැරණිතම ගල් සොරොව් දෙකෙන් එකක්ද,  සබරගමු පලාතේ පිහිටා ඇති දිගම සෙල්ලිපිය සහ රමැණි කොත නම් සද්ධාතිස්ස රජු විසින් කරවන ලද  පුරාණ චෛත්‍යයද පිහිටා තිබේ. තවද අබේතොට නම් වූ පුරාණ ඓතිහාසික ආරණ්‍ය සේනාසනයක්ද මෙම ප්‍රදේශයේ පවතින නමුත් එය උඩවලව වන උයන තුල තිබෙන බැවින් එම ස්ථානයට යාමට නොහැකි විය. එසේම මෙම ප්‍රදේශය ලංකාවේ පැරණිතම වෙළද ගම්මානය බවත්, ඉපැරණි කෝවිලක නටබුන් ද මහපොළවට යටවී තිබෙන බවද කැනීම් වලින් සොයා ගත් බවද රටට හිතැති පුරාවිදයාඥයන් පෙන්වා දෙයි.    

ඒ අනුව මේ ස්ථාන සොයා යාම සදහා වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම්තුමාට අප ලිඛිතව ආරාධනා කළේය. ඒ ඔහු ප්‍රදේශයේ පවතින සියලුම සම්පත් අයත් සිවිල් බලධාරියා බැවිනි. ඒ අනුව නිශ්චිතවම යොදාගත් දිනයක අප මෙම ගවේෂණය සදහා එම ප්‍රදේශයට ගියේය.

ඒ අනුව අප මුලින්ම ගල්පාය ග්‍රාමසේවා නිලධාරී කාර්යාලයට ගිය අතර ප්‍රාදේශීය ලේඛම් අනුරාධ ජයකොඩි මහතා සහ ග්‍රාම නිලධාරී සහ සංවර්ධන නිලධාරීන්ද සමග අප කෙලින්ම ගියේ ශ්‍රී ලංකාවේ දැනට ඉතිරිව තිබෙන, පැරණි රජවරුන් විසින් නිර්මාණය කරන ලද පැරණිතම ගල් සොරොව් දෙකෙන් එකක් පිහිටා තිබෙන පනහඩුව ප්‍රදේශයේ, මිනීමරු යාය නමැති ගම්මානයටය. එය වර්තමානයේ වෙහෙර බින්දයාය ලෙස හදුන්වනු ලබයි.

මෙම ස්ථානයට වාහන ගමන් කල නොහැකි බැවින් ගොවි ඉඩම් හරහා අප එම ස්ථානයට යන අතරතුර ගම් වැසියන්ගෙන්ද තොරතුරු එක් රැස් කරගත්තේය. ශ්‍රී ලංකාවේ පැරණිතම වුත්, වර්තමානයටත් ගැලපෙන වැවයි දාගබයි, ගමයි පන්සලයි යන සංකල්පයෙන් අගතැන්පත්ව නිර්මාණය කර තිබෙන සංකල්පයට අයත් වැවට අයත් වැව් බැම්ම හරහා අප සොරොව්ව සොයාගෙන ගියේය. මෙම වැව මේ වන විට නැතත් වැව් බැම්ම විනාශ වූ කොටස් වලින් සමන්විතය. මීට අවුරුදු 25 කට පමණ පෙර මෙම වැව් බැම්ම ඉතාම හොදින් තිබී ඇත. වර්තමානයේ රට වනසන වැසියන් සේම,  එකල මෙම ප්‍රදේශයට පැමිණි විනාශකාරී උදවියත්, මෙම ගමේ විනාශකාරී උදවියත් එක්ව මැණික් සෙවීම සඳහා මෙම වැව් බැම්ම විනාශ කර තිබේ. පැරණි රජ සමයෙහි තිබු සශ්‍රීක ප්‍රදේශයක් එම ප්‍රදේශයේ වැසියන් විසින්ම විනාශ කරගෙන තිබෙන බව අපට දක්නට ලැබෙන්නේ මෙම ප්‍රදේශයේ ජනතාව මේ වන විටත් ඉතිරිව තිබෙන වටිනා නටඹුන්ද විනාශ කරමින් සිටින බැවිනි.

දුෂ්කර නමුත් විනාඩි කිහිපයක් ඇතුලත ජනශුන්‍ය කුඩා වනලැහැබක් වෙත අපව රැගෙන ගියේ ගමේ වැඩිහිටියන් කිහිපදෙනෙකි. අප කියවා තිබු ආකාරයට 2002 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කර තිබුනේ “ශ්‍රී ලංකාවේ ගල්වලින් සකසන ලද ගල් සොරොව් දෙකක් පවතින බවත් ඉන් එකක් පනහඩුව වෙහෙර බින්දයාය නොහොත් මිනීමරු යායේ පිහිටි මෙම ගල් සොරොව්ව”  බවයි. විශේෂත්වය නම් මෙම ස්ථානය ආරක්ෂා කිරීම වෙනුවෙන් පුරාවිද්‍යා නිලධාරීන් මෙතෙක් කිසිදු උත්සාහයක් ගෙන නොමැති වීමයි. මේවා සංරක්ෂණය කර ශ්‍රී ලාංකිකයනට දැකබලාගත හැකිවන ලෙස සැකසිය යුතු අතර එය එසේ වුවහොත් පමණක් මේවා තවත් ශතවර්ෂ ගණනාවක් පවතිනු ඇත. නමුත් මේ වන විටත් ඒවා විනාශවෙමින් පවතී. ගම්වැසියන් කිහිපදෙනෙකුගේ උත්සාහය නිසා මේවා විනාශ නොවී පවතින බව අපට මෙහිදී දක්නට ලැබිණි.

ඈත අතීතයේ සිට පැවත එන්නා වූ මතවාද තුලින් එම ස්ථාන තුල සගවා ඇතැයි සැලකෙන නිදන් සහ පතල් කැනීම් තුලින් අදවන විට එම ස්ථාන අභාවයට ගොස් ඇත. එහෙත් අතීතය තුල  ජීවත් වූ මිනිසුන් සද්ධාතිස්ස රජු විසින් ඉදිකරන ලද වැව පාදක කොට ගනිමින් එම ගම්මානයෙහි වූ කුඹුරු මෙන්ම වතුයායවල්ද, සියලුම ගොවිතැන් කටයුතු මෙන්ම මිනිසුන්ගේ සියලුම අවශ්‍යතාවයන්ද සපුරාලීමට යොදාගෙන ඇත්තේද මෙම වැවයි.

ගල්පාය නම් වූ ප්‍රදේශයෙහි තෙළඹු ගහ අතුර, පනහඩුව, ආදී ගම්මානයන් තුල ඉතාමත් දැඩි වියළි දේශගුණයක් පවතින අතර වසර පුරාවට දැඩි හිරු රශ්මියක් හා ඉතාම වියළි දේශගුණයක් පවතී. මිනිසුන්ට කුස ගින්න නිවා ගැනිම සදහා වේල් තුනම ආහාරයට ගෙන ජීවත් වීමට පවා අපහසු පවුල් එම ගම්මානය තුල බොහෝ අසීරු දුක් කම්කටුලු මැද තම ජීවිකාව රැගෙන යාමට මහත් වෙහෙසක් දරණු ලබයි. එවන් අසීරු කාල ප්‍රදේශයක් තුල මෙම ජනතාවට වැවක් ඉදිකර තිබීම සහ එම වැවෙහි ජලයෙන් හේන් ගොවිතැන් වැඩ කටයුතු ද නිසි අයුරින්ම ඉටු කර ගැනීමට තරම් ප්‍රමානවත් ජලයක් තිබුණද පසු කාලය වන විටදී එම වැව් බැම්ම කෙමෙන් කෙමෙන් විනාශයට පත්ව ගොස් ඇත්තේද මිනිසාගේ නොමනා ක්‍රියාකාරකම් හේතුවෙනි. ඔවුන් කල විනාශය ශාපයක් වී ඔවුන්ගේම පරපුරවල් මේ වන විටත් දුක් විඳින බවද සොබාදහම දඩුවම් දෙමින් සිටින බවද ආගමික ඥානයක් ඇත්තෝ විශ්වාස කරති. කෙසේ නමුත් මෙම වැව බිදී ගියේ කුමන කාලයකද යන්න අපට නිශ්චිතවම අනාවරණය කරගැනීමට නොහැකි විය. එම වැව බිඳී යාමත් සමගම එම ප්‍රදේශයන් ජනශුන්‍ය වූ බවද ජනප්‍රවාදය තුල සදහන් වේ.

එම වැවෙහි සොරොව්ව අසල භූමී ප්‍රමාණයෙහි අඩි ගණනක් ගැඹුරු ස්ථානයක මැණික් කොරහක් ඇතැයි කට කතා මගින් ගම්මානය පුරාවට සහ ප්‍රදේශය පුරාවට ආරංචි මාර්ග පැතිර ගොස් තිබීම හේතුවෙන්ද මිනිසුන් එක්ව එම ස්ථාන විනාශ කර නිදන් රැගෙන යාම ඔවුන්ගේ මූලික අරමුණ වී තිබේ. කිලෝමීටර් ගණනාවක් දුරට තිබු බවට විශ්වාස කල හැකි වැව් බැම්ම මැණික් සෙවීම සඳහා සම්පුර්ණයෙන්ම විනාශ කලත් මෙම ගල් සොරොව්ව තවමත් ආරක්ෂිතව පැවතීම අද්භූත සිදුවීමකි.  

එම ගල් සොරොව්ව සහ අවට තිබෙන අතීතයේ මිනිසුන්ගේ ඉදිකිරීම් ඔබට පහත වීඩියෝව මගින් දැක ගත හැකිය.

අප ඉන් අනතුරුව ගමන් කලේ පැරණි ගමේ චෛත්‍යය වෙතය. මෙම චෛත්‍යයට පහලින් පන්සලක් තිබෙන අතර එම ස්ථානයේ පුරාවිද්‍යා පුවරුවක් සවිකර තිබේ. පුරාවිද්‍යා පුවරුවත් සමග ඉහලින් එතැන් සිට මීටර් 150 ක් පමණ වියහැකි දුරකින් දාගැබ තිබෙන අතර එම දාගැබේ සලපතල මළුව බවට විශ්වාස කරන ස්ථානයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ මොබිටෙල් සන්නිවේදන සමාගම විසින් සන්නිවේදන කුළුණක් ඉදිකර තිබේ. මෙම දාගැබේ පෙනුමට අනුව එය රුවන්වැලි මහා සෑය , අභියගිරි ආදි විශාල දාගැබ්වලත් වඩා විශාල බව දක්නට තිබේ. එම නිර්මාණය දා ගැබක් ලෙස නොව කන්ද නගිමින් ගොස් සලපතල මළුව හරහා ගොස් වන්දනා කිරීම සදහා සකසා තිබෙන බවට යම් චිත්‍රයක් මවා ගැනීමට හැකියාව තිබේ. ඒ අනුව මෙම ස්ථානය පුජා භූමියක් වේ. පුරාවිද්‍යා පනත උල්ලංඝණය කරමින් මෙම දාගැබේ සන්නිවේදන කුළුණ ඉදිකර තිබෙන අතර මෙම දාගැබේ නැගෙනහිර ප්‍රදේශය පස් කපමින් විනාශකරමින් තිබෙන බවද අපට දක්නට ලැබුණු අතර මෙහි කොටසක් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේඛම් බලප්‍රදේශයේ පනහඩුව ග්‍රාම සේවා වසමට අයත් වේ. මෙහිදී අපට අනාවරණය වන තවත් විශේෂ කරුණක් වන්නේ සංඛපාල විහාර භාරකාර කොකාවල කෝශල නමැති බෞද්ධ ශ්‍රාවකයෙක් නොවන ශ්‍රමණවේසදාරියෙකු එම සලපතල මළුවේ පර්චස් කිහිපයක් වෙනුවෙන් හොරට ඔප්පුවක් සකසා තිබෙන බවයි. මේ පිළිබඳව උඩවලව පොලිස් ස්ථානයට යොමුකරන පැමිණිල්ලක් ඇඹිලිපිටිය කොඨිඨාශ වංචා දුෂණ විමර්ශන අංශයට යොමුකර තිබෙන බව ද එහිදී ගම් වැසියන් අප හා පැවසීය. එසේම මෙම දාගැබ තුල නිධානයක් තිබෙන බවද එය ගැනීමේ අදහසින් මෙය අත්පත්කරගෙන තිබෙන බවද ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙන අතර පුරාවිද්‍යා පනතට අනුව මෙම ස්ථානයේ කිසිදු කැණීමක් කල නොහැක.

දාගැබට පහලින් අක්කර ගණනාවක් පුරා පුරාවිද්‍යා නෂ්ඨාවශේෂ විසිරි පවතී. ඒවාද විනාශ මුඛයට ගෙන ගොස් තිබෙන්නේ ප්‍රදේශයේම යම් දුෂිත ජනකොටසකගේ හේතුවෙන් බවත් ඔවුන් එසේ කර තිබෙන්නේ මැණික් සෙවීම සඳහා බවත් පවසන්නේ ගම් වැසියන්ය. මෙම ප්‍රදේශවල මිනිසුන්ගෙන් බහුතරයක් යම් ම්ලේච්ච බවක් පෙන්වන බවද, බහුතරයක් නුගත් බවටද අපට තොරතුරු ලැබෙන්නේ මෙම සංචාරයට පෙරය. කෙසේ නමුත් මෙම දාගැබ මත මෙම සන්නිවේදන කුලුන ඉදිකිරීමට එරෙහිව ප්‍රදේශයේ ජනතාව දහසකට වඩා අත්සනින් පෙත්සමක්ද අත්සන් කර තිබුනත් සංඛපාල විහාර භාරකරුගේ බලය මෙන්ම දුෂිත දේශපාලකවරියකගේ ගෝලයෙකුගේ උවමනාවට ජනතා කැමැත්ත සහ නීතිමය රෙගුලාසිවලට ඉහළින් දුෂිත බලය ක්‍රියාත්මකව තිබේ. ඒ අනුව පනහඩුවේ ජනතාව ආදරයෙන් බලා සිටි, චෛත්‍යයක් ලෙස ගරුකළ මෙම ස්ථානයේ විනාශය ලියවෙමින් තිබේ. ඉන් මහජන ගරුත්වය නැතිව ගොස් තිබේ.

පොල්වගාව දාගැබ, අඹගහ වෙහෙර මංකඩ දාගැබ, ගුරුමඩයාය දාගැබ, පනහඩුව වැන්කැටිය දාගැබ, අත්තනකැටිය දාගැබ, කලගෙඩිආර දාගැබ, ආදී ප්‍රදේශ 16 ක රමැණි කොතට අයත් පරිවාර දාගැබ් 16 ක් තිබී ඇත.  ඒවායින් කිහිපයක් දැනටමත් තිබෙන නමුත් ගල්පාය හෝ පනහඩුවේ යමක් කල හැකි මිනිසුන් මේවා විනාශකිරීම පසුපස සිටින බවද දුෂිත දේශපාලඥයන්ගේ දුෂිත ගෝලයන් මේවා පිටුපස සිටින බවද අප සොයාගෙන තිබේ. අපට ලැබී තිබෙන තොරතුරුවලට අනුව එම දාගැබ් වලින් මුත්තෙටුපොල ප්‍රදේශයේ දෙකක්ද තිබෙන අතර බඹරගල අරණ්‍ය සේනාසනය තුලද එකක් පිහිටා තිබේ. පල්ලෙබැද්ද, මුත්තෙටුපොල පිහිටි දාගැබ් දෙකෙන් එකක් පිහිටා තිබෙන්නේ පුද්ගලික ඉඩමකය.

රමැණි කොත වෙහෙරේ එම ස්ථානයේ විස්තර සහිත වීඩියෝව ඔබට පහලින් නැරඹිය හැකිය.

මෙම වෙහෙරත්, දාගැබත් එකම ග්‍රාමසේවා වසමක පිහිටා තිබෙන අතර අප එම ස්ථායෙන් පිටත්ව පැමිණියේ බඹරගල ග්‍රාමසේවා වසමටය. එම වසම තුල වටිනා පැරණි ස්ථාන ගණනාවක් තිබුනත් අපගේ ගවේෂනය වුයේ බ්‍රාහ්මීය අක්ෂර වලින් ලියා තිබෙන සබරගමුවේ දිගම සෙල්ලිපිය දැකබලා ගැනීමටය. ප්‍රාදේශීය ලේඛම් සහ අනෙකුත් නිලධාරීන් ගොස් නිවසක් ඉදිරිපස නැවතුනත් අප බලාපොරොත්තු වූ විශාල ගල් තලාවක් දක්නට නොතිබුණි. නමුත් ඒ ආසන්නයේම අව්වට වේලෙන, වැස්සට තෙමන කිසිම වටිනාකමක් නොමැති සාමාන්‍ය ගල් කිහිපයක් දක්නට තිබු අතර අප විමසුවේ “සෙල්ලිපිය කොහෙද?” යන්නයි. ඒ අනුව එය පිහිටි කුඩා හුදෙකලා සාමාන්‍ය පාෂාණය උඩට නැග බැලීමේදී අප දුටුවේ ඒ මත අඩි කිහිපයක් දිගට පාෂාණය මත වචන ගණනාවක් කොටා තිබෙන බවයි.  

ඒ අනුව ගල්පාය වල්දෙහිකටුව ශිලාලේඛනය රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් නොව සබරගමුවේ දිගම සෙල්ලිපිය බවට පත්ව තිබේ. මෙහි දිග 250 cm වන අතර පළල 50 cm හා අකුරු පේලි 10 කින් යුක්තය. මෙය ” ශ්‍රී ” අක්ෂරයෙන් ආරම්භ කර ඇත. නමුත් මෙම ශ්‍රී අක්ෂරය නෙළුම් මලක් යැයි සිතා එය විනාශ කර තිබේ. මීට අවුරුදු දෙකකට පමණ පෙර එම ස්ථානයට පැමිණි හිමිනමක් සහ තවත් පුද්ගලයෙකු මෙම අකුරුවලට යම් රසායනික ද්‍රව්‍යයක් යොදා තිබේ. ඉන් අනතුරුව මෙම අකුරු විනාශ වෙමින් පවතින බවද අපට මෙහිදී අනාවරණය විය. එසේම රත්නපුර පුරාවිද්‍යා නිලධාරීන් එම ස්ථානයේ තිබු මැණික් පතලකින්ද කොටස් ගත් ආකාරයද වැලි වලවල් වලින්ද අල්ලස් ගත් ආකාරයද අපට අනාවරණය වන්නේ මෙම ගවේෂනය්දීමය

දර්ශන පහත වීඩියෝවෙන්

මෙම සෙල්ලිපිය තෙළඹුගහාතුර නම් ගම්මානයෙහි බිසෝකොටුව නම් විහාරස්ථානයට යාමට යොදාගෙන තිබෙන අඩිපාර තුල ගමන් කරනා විට දක්නට ලැබේ. කෙසේ නමුත් මෙම ස්ථානයේද අප ගමන්කරන විටත් කිසිදු පුරාවිද්‍යා පුවරුවක් සවිකර නොතිබුණි. නමුත් ගම්වාසින් විසින් මුදල් එකතුකර පුවරුවක් සවිකිරීමට අවශ්‍ය කටයුතුකරමින් තිබෙන බව ග්‍රාමඋ නිලධාරිවරයා අප සමග පැවසීය. ඒ සඳහාද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ වන තෙක්ම අනුමැතිය ලබා දි නොතිබිණි. එම ගම්මානයෙහි වාසය කරන කීපදෙනෙකු හැර කුඩා ළමුන් පමණක් නොව වැඩිහිටි පිරිස්ද මෙහි සැග වී තීබෙන වටිනාකම නොදනිති. එසේම හතර දිසාවට විහිදී තිබෙන මෙම ගම්මානයේ තිබෙන ඉතිහාසගත වටිනාකම ඔවුන් කිසිවෙකුත් නොදන්නා බවද අපට දැනුනේ තොරතුරු සෙවීමේදීය.

1931 අගෝස්තු 06 වැනි දින එවක රත්නපුර දිසාපති සී.එම් කෙලින්ස් මහතා මෙම ශිලා ලේඛනය මුල්වරට කියවීමට උත්සහ දරා ඇත. ඒ අනුව මෙම සෙල්ලිපියෙහි අන්තර්ගතය වූයේ “උදය මහ රජු විසින් අතර ගිරිමඩලාන නම් ස්ථානයේ විහාරයක් කරවා එයට ප්‍රදානය කරන ලද ගමක් පිළිබදව ඊට අදාල වරප්‍රසාද හා නීති රීති පිළිබදවත්” මේ සෙල්ලිපියෙහි සදහන් වන බවයි.

ඒ අනුව අප සොයාගත් තොරතුරුවලට අනුව  ගල්සොරොව්ව සහ දිගම සෙල්ලිපිය මේ වන විටත් විනාශ වෙමින් පවතී. රමැණි වෙහෙරට හොර ඔප්පු සාදා පුරාවිද්‍යා පනත උල්ලංඝනය කරමින් කැනීම් කර ඉදිකිරීමක් කර තිබේ.  නමුත් ශ්‍රී ලංකාවේ පුරා විද්‍යා දෙපාර්තෙම්න්තුව නිහඬය. පොලිස් දෙපාර්තමේන්තුවද නිහඬය.  මෙම ප්‍රදේශයේ වටිනාකම් ලියවී තිබෙන ප්‍රධානතම ස්ථාන තුන වන්නේ මෙම වැව, දාගැබ සහ එහි පන්සල මෙන්ම, තවත් ශිෂ්ඨාචාරයක් පෙන්වන “ අකුරු කෙටු ගල නොහොත්, වල්දෙහි කටුව ශිලා ලේඛනයයි”. ඒ අනුව මෙම ස්ථාන සියල්ලම විනාශ වෙමින් පවතින්නේ පුරාවිද්‍යා නිලධාරීන්ගේ නොසැලකිල්ල සහ මුදලාලි පැලැන්තියේ ආත්මාර්තකාමීන් කිහිප දෙනෙකු නිසාය. අතීත මුතුන් මිත්තන් යක්ෂ ආත්මවල සිට මේවා අරක්ෂා කරන බවත්, විනාශ කරන්නන්ට එරෙහිව ඔවුන් කටයුතු කරනා බවත් අතීත ජනප්‍රවාද කතාවල ලිය වී තිබේ. ඒ අනුව ඒවා සිදුවනු ඇත.

මෙම ප්‍රදේශයේ තිබෙන වැදගත්කම කෙසේද යත් පාසල් පෙළපොත්වල 10 වසර සහ 11 වසර ඉතිහාස පොත්වල මේ පිළිබදව සටහන් දක්නට ලැබේ.

විශේෂ ස්තුතිය – වැලිගෙපොල ප්‍රාදේශීය ලේඛම් අනුරාධ ජයකොඩි, ඉඳුනිල් උඩවත්ත සහ ඉන්දික ගුණරතන යන ග්‍රාම නිලධාරීන් , නිලංක කුමාර සහ දීපා රාජපක්ෂ යන සංවර්ධන නිලධාරීන්, රියදුරන් සහ ප්‍රදේශවාසී දෑ හිතකාමී සියලුම දෙනාට.

සහභාගි වූ අය – ශ්‍රී රාවණා ලංකා මාධ්‍ය ජාලය වෙනුවෙන් ශ්‍රී නිශ්ශංක මායාදුන්න, කේ පි එස් කුමාර , චාරුන්‍ය ජයකොඩි සහ ආදිත්‍ය ජයකොඩි කුඩා පාසල් දරුවන් දෙදෙනා සමග රාජ්‍ය නිලධාරීන් සහ ගම්වාසී ජනතාව.

(මී ලඟ ගවේශණය – ගල්පාය හා බැදුණු ඉතිහාස කතා සහ ක්‍රිස්තු පුර්ව තුන්වැනි සියවසට අයත් බ්‍රාක්මීය අකුරු සොයා…. අබේතොට (ඹ), ගල්පාය මහවැව, වලංකටුයාය, වල්දෙහිකටුව බෝධිඝරය, වලහවැටුනගල, පොල් වගාවේ නටඹුන්, අඹගහවෙහෙර, ගුරුමඩයාය, බැලවානගල,සහ වලවේ නිම්නයේ තිබෙන සැගවුණු ස්ථාන සොයා)

ඉහත වැඩසටහන සම්පුර්ණ වීඩියෝව

Exit mobile version