කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් හදිසියේම මරණයට පත්වීමට හේතුව ප්‍රතිකාර සඳහා ලබාදෙන රසායනිකයක බලපෑමක් දැයි රෝහලේ වෛද්‍යවරු සැක පළ කරති.
පසුගිය දින කිහිපයේදී එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පස් දෙනෙකු මරණයට පත් වීම සැලකිල්ලට ගනිමින් එම ඒකකය මුද්‍රා තබා තාවකාලිකව වසා දැමීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ බලධාරීන් පසුගිය 23 වැනිදා පියවර ගෙන තිබිණි.
මේ සඳහා බලපා ඇති හේතුව අනාවරණය කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයද පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඒ අනුව රුධිර කාන්දුකරණය සහ රුධිරය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත් කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල පියවර ගෙන ඇති බව සදහන්.
මීට අමතරව කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර නියමිත රෝගීන් කුලියාපිටිය, නාරම්මල, දඹදෙණිය, නිකවැරටිය සහ නිකවැව රෝහල් කරා යොමු කිරීමටද පියවර ගෙන තිබේ.
රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ක්‍රියාවලියේදී සිරුරේ රුධිර පට්ටිකා මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීමෙන් පසුව ඇතිව සංකූලතා තත්ත්වයක් මත මෙම රෝගී මරණ සියල්ලම සිදුව ඇති බවද වාර්තාවේ.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව ප්‍රකාශ කළේ, සිදුව ඇති රෝගී මරණ සඳහා නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැති බවයි.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ප්‍රතිකාර ලබමින් සිටි අනෙකුත් රෝගීන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් රෝහලෙන් ඉවත් කර නිවෙස් කරා යැවීමට පියවර ගත් බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අද (26) කුරුණෑගලට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.