ශ්‍රී ලාංකේය වත්මන් පාසල් පද්ධතියම දූෂිත ද යන්න අප හමුවේ ඇති ගැටළුවකි. මෙම ප්‍රශ්නයට දිය හැකි පිළිතුරු නම් දිවයිනේ නන් දෙසින් දැන් දැන් අසන්නට ලැබෙන්නේ පාසල් පද්ධතිය සේම මුළු රටම දූෂිතය යන ප්‍රකාශයයි. එසේ සිදු වූයේ ඇයි? එයට ප්‍රධානතම හේතුව නම් පාසල් පද්ධතියට වැඩබලන විදුහල්පතිවරුන් පත් කිරීමේ ක්‍රමවේදය තුළ පවතින ගැටළුසහගත තත්ත්වයයි.
එනම් බොහෝ විට මෙම වැඩබලන විදුහල්පතිවරුන් පත් වීම බලයේ සිටින ඒ ඒ මැතිවරණ කොට්ඨාස වල දේශපාලන නායකයින්ගේ ඕනෑ එපාකම් විසදන්නේ මෙම විදුහල්පති වරුන් නිසාය. රටේ බොහෝ මැතිවරණ කොට්ඨාස වල මන්ත්‍රී ලැයිස්තුවෙන් පාසලේ කොටසකට සිසුන් ලබා ගන්නා විදුහල්පතිවරුන් අප දැක ඇත. පුරවැසියාද එම විදුහල්පතිවරුන්ට සර් කියා සිය දරුවා පාසලට දමා ගන්නේ දේශපාලකයා වෙත කඩේ යන ගමන්ය. එවන් පසුබිමක සර්ව සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් පිළිබදව වත් සිතීම උගහටය. නමුත් වර්තමාන සමාජය තුළ මේ සියල්ල ඉවසා විද දරා ගනිමින් ජීවත් වීමට අප හට සිදුව ඇත. නමුත් අතීතයේ මෙන්ම වර්තමානයේත් වර්තමානයේ මෙන්ම අනාගතයටත් අත්‍යවශ්‍ය සාධකයක් ලෙස පාසල් පද්ධතිය අපට නම් කළ හැකිය. මෙලෙස අත්‍යවශ්‍ය සාධකයක් වන පාසල් පද්ධතියේ කුමන අක්‍රමිකතා සිදු වුවත් ඒවා නිවැරදි කර ගෙන යාම සදහා මෙහි පවතින වංචා දූෂණ හෙළි කර නිවැරදි මගට ගැනීමට ක්‍රියාකළ යුතුව ඇත.
අප එසේ පවසන්නේ හේතුවක් ඇතිවය. මක්නිසාද යත් මෙරටට එදා හතළිහ දශකයේදී නිදහස් අධ්‍යාපනය හදුන්වා නොදුන්නේ නම් වර්තමානය වන විට මේ රට කොතනකදැයි ප්‍රශ්නයක් අප හමුවේ ඇත. නිදහස් අධ්‍යාපනය හමුවේ වුවද අප රට මෙතරම් ආගාධයකට ගමන් කළේ රටේ පුරවැසියාගේ වහල් භාවය නිසාවෙනි. වහල් භාවය නසන ප්‍රධාන අවිය වනුයේ අධ්‍යාපනයයි. එසේ නම් අප කළ යුත්තේ මේ රට මෙන්ම පාසල් පද්ධතිය නිදහස් කර ගැනීමට නම් පාසල් පද්ධතියේ දැනට සිදු වන අක්‍රමිකතා නවතා දැමීමට ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය සාධකයක්ව පවතී. මක් නිසාද යත් දැනට පාසල් පද්ධතිය තුළ විදුහල්පති ධූර දරමින් පාසල් හසුරුවන්නේ ද නිදහස් අධ්‍යාපනයෙන් ළුල නෙළාගෙන එම තනතුරු වලට පත් වූ අයයි.එසේ නම් මෙලෙස නිදහස් අධ්‍යාපනයෙන් පෙරට පැමිණි මෙම විදුහල්පතිවරුන්ට ඉතා විශාල වගකීමක් ඇත.
නමුත් සිදු වන්නේ කුමක්ද එම නිලධාරීන්ද අල්ලස් ලබා ගනිමින් මෙම පාසල් පද්ධතියම දූෂණයට ලක් කිරීමයි. අප දන්නා ඇතැම් විදුහල්පති වරුන් හදිසි අවස්ථාවල පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේදී එම දෙමව්පියන්ගෙන් විවිධ සංතෝෂම් ලබා ගන්නේ දෙමව්පියන්ද රවටා ගනිමිනි. එනම් ඇතැම් විදුහල්පති වරුන් පාසලේ යම් යම් ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන මුවාවෙන් ළමුන් පාසල් වලට ඇතුළත් කිරීමේදී එහි ඉදි කිරීම් මුවාවෙන් සිමෙන්ති හෝ වේවා කම්බි හෝ වේවා වෙනත් ඉදි කිරීම් සදහා විදුහල්පති වරයා නම් කරන වෙළදසැලකින් අදාළ මුදල් ගෙවා බිලක් ගෙන එන ලෙස නම් කරන අතර හවස පාසල් නිම කර යන විදුහල්පති වරයා එම බිල වෙළදසැලටම ලබා දී එම වෙළදසැලෙන් මුදල් ලබා ගන්නේ අදාළ වෙළදසැලෙහි ව්‍යාපාරිකයාටද මුදලක් ලබා දෙමිනි. මෙම සිද්ධි තුළ අප විමසන්නේ යහපත් පාසල් පද්ධතියක් අපට බලාපොරොත්තු විය හැකිද යන්නයි. එසේම එවැනි විදුහල්පති වරුන් ප්රකෝටිපතියන් වන්නේ ඉතා කෙටි කලකිනි.
තවත් මෙවැනිම සිද්ධියක් ඇත. එනම් තම දරුවා නගරයේ පාසලක එක වසරට ඇතුළත් කර ගැනීමට ගියේ ලී මෝලක් හිමි ආදරණීය පියතුමෙකි. විදුහල්පති තුමා ප්‍රකාශ කරන්නේ දරුවා පාසලට ගත හැකි බවත් තමන් අලුතෙන් සාදන නිවසට ලී ටික ඉරා නිවසටම ගෙන්වා දෙන ලෙසත්ය. මෙය මැදිහත් සිතින් ඉවසා දරා ගත් එම ආදරණීය පියතුමන් ලී ටික ඉරා විදුහල්පතිතුමාගේ අලුතෙන් සාදන නිවසටම තමන්ගේ වාහනයෙන්ම ප්‍රවාහනය කර දුන්නේය. දැන් එම දරුවා 4 වසරේ ඉතා හොදින් අධ්‍යාපනය ලබන්නේ එම දරුවාගේ පියා ලී ටික ඉරා විදුහල්පතිතුමාගේ නිවසටම ප්‍රවාහනය කර දුන් නිසාවෙනි.