වතිකානයේ තානාපති පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු විමසයි.

විනිසුරු දමිත් තොටවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පාස්කු ප්‍රහාරය පිළිබඳව නඩුව විභාගයට අගවිනිසුරුවරයා විසින් පත්කර ඇති අතර එහි සෙසු විනිසුරුවන් ලෙස අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන් කටයුතු කිරීමට නියමිතය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතා ලබන 7 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග දී ඇත.

පාස්කු ඉරුදින මෙරට ඇති වූ බෝම්බ පිපිරීම් අතුරින් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉන්ෆාස් නැමැත්තාට ඒ සඳහා අධාර අනුබල ඇතුළු චෝදනා යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය අප්‍රේල් 24 වනදාය.

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්ත්‍රීවරයා රඳවා තබාගෙන ප්‍රශ්න කළ අතර දින 111කට පසු එනම් පසුගිය අගෝස්තු 10 වෙනි දා ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

ඊයේ දිනයේ එම නඩුව නැවතත් විභාගයට ගත් අතර එහිදී මන්ත්‍රීවරයා වෙනුවෙනි පෙනීසිටි නීතීඥවරුන් කරන ලද ඉල්ලීමක් මත නඩුව නැවතත් ලබන 07 වන දා කැඳවීමට නියමකර ඇත.

මෙම නඩුවේ සෙසු සැකකරුවන් වන නීතීඥ හිජාස් හිස්බුල්ලා ඇතුළු 6 දෙනෙකු ලබන 15වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මේ අතර ,ශ්‍රී ලංකාව සඳහා වන වතිකානයේ තානාපති ගරු බ්‍රයන් උඩයිග්වේ අගරදගුරුතුමන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණ පිළිබඳ සාකච්ඡාකිරීමට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා හමුව ඇත.

දැනට සිදුකෙරෙන මෙම පරීක්ෂණවල සංවේදී ස්වභාවය පිළිබඳව විදේශ අමාත්‍යවරයා විසින් සඳහන් කර ඇති අතර ඒ පිළිබඳව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ කතෝලික රදගුරු සම්මේලනය දැනුවත් කිරීම සඳහා වන සාකච්ඡාවක් පැවැත්වීමටද අවශ්‍යතාවයක් ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවති මෙම හමුවේ දී පෙන්වා දී ඇත.

එසේම අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේ කතෝලික පල්ලියේ පිරිසිදු චේතනාවන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පැහැරනොගැනීම සඳහා සෑම ප්‍රයත්නයක්ම දැරිය යුතු බවයි.

Exit mobile version