වෛද්‍ය නිවාඩු සඳහා ගෙවූ දීමනාවෙන් බදු අය කිරීමට විරෝධය දක්වමින් වැඩවර්ජනය කරන වරාය සේවකයන්ගේ වැඩ තහනම් කර ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දෙන බවට වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසූ බව වාර්තා වේ.
බොහෝ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයන්ගේ දීමනා කපා ඇති පසුබිමක වරාය අධිකාරිය එහි සේවකයන්ට වෛද්‍ය නිවාඩු සඳහා දීමනාව ගෙවූ බවත් එම දීමනාවෙන් බදු අය කිරීම වරාය අධිකාරියේ තීරණයක් නොව එය රජයේ බදු ප්‍රතිපත්තිය බවත් එම නිලධාරියා පවසා තිබේ.
එම දීමනාවෙන් අයකර ඇති බදු මුදල් වරායට නොලැබෙන බවත් එය රජයට යොමුකළ යුතු බවත් එම නිලධාරියා සඳහන් කර තිබේ.
බදු සම්බන්ධයෙන් වැඩවර්ජන කළ නොහැකි යැයි අධිකරණ නියෝගයක් තිබියදී වර්ජනය කිරීම අධිකරණ නියෝගය නොසළකා හැරීමක් බව කී එම නිලධාරියා දැඩි දුෂ්කරතා මත වෛද්‍ය නිවාඩු දීමනාව ලැබීම පිළිබඳව වරාය සේවකයන් වරාය කළමණාකාරිත්වය අගය කළ යුතු බව ද සඳහන් කර තිබේ.