වායු ගෝලීය කැළඹිලි ස්වභාවයක්…තද වැසි තත්ත්වයක පෙර නිමිති…

අද (13) දිනයේ දිවයින ආශ්‍රිත පහළ වායු ගෝලයේ යම් කැළඹිලි ස්වභාවයක් දක්නට ලැබෙන අතර එනිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

බස්නාහිර, දකුණ, වයඹ, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර යන පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී.100 ඉක්මවූ තද වැසි තත්ත්වයක් දැක ගත හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල අද (13) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී.75 වැඩි තරමක තද වැසි තත්ත්වයක් ද අපේක්ෂා කළ හැකි බව එම නිවේදනයේ දැක්වේ.

කෙසේ නමුත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවන තාවකාලික තද සුළං තත්ත්වයන්ගෙන් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

Exit mobile version