වැල්ලේ සුරංගගේ සහෝදරයාගේ දිවි බේරෙයි.

සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ “වැල්ලේ සුරංග” ගේ සහෝදරයා ඉලක්ක කර ගනිමින් කොටහේන ඉබ්බගේවත්ත හන්දිය ප්‍රදේශයේ සිදුකල වෙඩ්තැබීමේ ඉලක්කය වැරදී යාමෙන් ඔහුගේ දිවි බේරි ඇතැයි කොටහේන පොලිසිය විසින් වාර්තා කරන ලදි.

කොටහේන රෝක් හවුස් ප්‍රදේශයේ පදිංචි “වැල්ලේ සුරංගගේ සහෝදරයා වූ ගමගේ සනත් රුවන් බිරිඳ සමග ආරවුලක් සම්බන්ධයෙන් වූ නඩුවකට පෙනීසිටීම සදහා අලුත්කඩේ අංක හය අධිකරණය වෙත යමින් සිටියදී ඉබ්බගේවත්ත හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක් වම් පසින් ත්‍රීරෝද රථයට ඉස්සර කර නවතා එයින් බැස ආ පුද්ගලයකු ටී-56 ගිනි අවියක් එල්ල කිරීමත් සමග ත්‍රීරෝද රථ රියදුරු පළාගිය අතර ඒ සමගම පිටුපස ත්‍රීරෝද රථයේ සිටි “වැල්ලේ සුරංගගේ ” සහෝදරයාද ඉන් පලා යන අවස්ථාවේදී වෙඩික්කරු ඔහුට වෙඩ් ප්‍රහාරයක් එල්ල කළ බවට වාර්තා වේ.

නමුත් වෙඩි පහර එම ස්ථානයේ බිමට සහ තාප්පයට වැදී ඇති අතර හිස් පතරොම් කොපු හතරක් එම ස්ථානයේ තිබී සොයා ගත් අතර කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩි.ජේ.ආර්.එස්. නිශාන්ත කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්.පී ලිහිණිකුල මහතා විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරන බවට වාර්තා වේ.

Exit mobile version