වැලිගෙපොල , කලටුවාකන්ද ග්‍රාම සේවා වසමට අයත් යපල්ආරේ වැව් ඉස්මත්තේ මීට දින කිහිපයකට පෙර සිට තවත් කුඩා වනපෙදෙසක් විනාශ කරමින් තිබෙන බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසනවා.
අවුරුදු 100 කටත් වඩා පැරණි බව සැලකෙන මෙම වන පෙදෙස විනාශ කලද, එම ඉඩම් කොටස සින්නක්කර අයිතිය තිබෙන ඉඩමක් බව සදහන් වුවද, එය වැව් පෝෂක ප්‍රදේශයක් වන අතර එම වගා නොකළ වනය කපා දැමීමෙන් යපල් ආරේ වැව ගොඩවීමේ අවදානමක් ඇති වන බව ද වාර්තා වනවා. එයින් මහ ජනතාව දැඩි අසීරුවකට පත් වන අතර , වැව් දෙකක ජලය සිදී යන අතර අක්කර 1000 කට වඩා කුඹුරු ඉඩම් පුරන් වීමට තිබෙන ඉඩකඩ වැඩි අතර ගොවිතැන් කරන ජනතාව සිය ගණනක් අසීරුතාවයන්ට ලක් වනු ඇති බවද පැවසෙනවා. මේ වන විට එම වැව් ඉස්මත්තේ වැවට අයත් වෙනත් ඉඩම්ද මිනිසුන් අත් පත් කරගෙන තිබෙන බව සදහන් වේ.
මෙම ඉඩම සම්පූර්ණයෙන්ම සින්නක්කර වුවද, අවුරුදු 100 කට වැඩි කාලයක් අත් හැර තිබෙන ඉඩමක් බැවින් ජනතාවට සිදුවන හානිය දෙස සලකා බලා , ඒ පිලිබදව අවසන් තීරණයක් ගැනීමට බලය සම්පූර්ණයෙන්ම ප්‍රදේශීය ලේකම්ට තිබේ. එසේම අවුරුදු 100 කටත් වඩා පැරණි වන පෙදෙසක් තිබෙන ඉඩමක් සදහා සින්නක්කර අයිතිය තිබෙන ලෙස ඔප්පුවක් සාදා ඇත්තේ කෙසේද යන්න වෙනමම සොයා බැලිය යුතුය. මෙම ප්‍රදේශයන් ජනාකීර්ණ වීම සිදුවන්නේද මීට අවුරුදු 70 කට පමණ පෙර සිටය. එහෙත් මෙතෙක් කල් යපල් ආර, කලටුවාකන්ද අම්බැවිල ආදී ප්‍රදේශ වල ජනතාව අතර ප්‍රචලිතව ඇත්තේ මෙම ඉඩම් වැව් රක්ෂිතයේ ඉඩම් ලෙස බවද වාර්තා වෙයි.
ජනතාවට සිදුවන අපහසුතා වෙනුවෙන් ඔවුන් මුදවා ගැනීමේ ප්‍රදේශයේ වගකිව යුත්තා ප්‍රාදේශීය ලේකම්තුමා වන අතර, සංවර්ධනය අරමුණු කරගත් මහජන පීඩාවන් යටතේ මෙම ඉඩම් කොටස රජයට අත්පත් කරගැනීමේ සම්පූර්ණ වගකීම ඉඩම් ඇමතිට තිබෙන අතර ඒ සදහා මුල්ම කොටස හැකිතාක් ඉක්මනින් සිදු කල යුත්තේ ප්‍රදේශයේ නිසි ඉඩම් බලදාරියාය. රජයේ ඉඩම් වුවද, සින්නක්කර ඉඩම් වුවද නිසි ඉඩම් බලදාරියා වන්නේ දිස්ත්‍රික් ලේකම් වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් වන අතර, තිරසාර සංවර්ධනය පිළිබද සිද්ධාන්තය ශ්‍රේෂ්ඨාධිකරණය පවා පිළිගෙන ඇති අතර මහජන සුබ සිද්දිය වෙනුවෙන් මෙවැනි ස්ථානයකදී එසේ සිදු කිරීමට, වහාම විනාශය නැවැත්වීම සදහා විදානයක් නිකුත් කිරීමේ බලය සහ හැකියාව ප්‍රාදේශීය ලේකම්ට තිබේ. අමාත්‍යවරයා එය ගැසට් කිරීමෙන් පසුව ඒ පිලිබදව තීරණ ගැනීමට හෝ විමර්ශනය කිරීමට අධිකරණයට පවා බලය අහිමි වේ.
වනාන්තරය ඇතුලෙන් ගිනි තබා ඇති අයුරු
ඒ අනුව පොදු අරමුණ මත මෙම ඉඩම වහාම අත්පත් කරගැනීමට හැකි අතර, එසේ නොකිරීමෙන් සියගණනක් ජීවිත මතුදිනකදී අනතුරේ වැටෙන අතර, ඔවුන්ට පානය සදහාවත් අවශ්‍ය ජලය බිඳක් නොමැති වනු ඇත.
කෙසේ වුවද අද , (24) වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම්තුමා මේ ස්ථානය නිරීක්ෂණය කර තිබෙන අතර, මේ විනාශය සිදු කරන්නේ යුද හමුදාවෙන් විශ්‍රාම ගොස් ඇති පුද්ගලයෙකු වන බවද, එම ඉඩම ඔහුට අයත් නැති ඉඩමක් බවද අනාවරණය වී තිබේ. එසේම මෙම පුද්ගලයා එම වසමේ ග්‍රාම නිලධාරීට සහ ප්‍රාදේශීය ලේකම්වරයාට තර්ජනය කල බවද දැන ගන්නට තිබෙන අතර, රජයෙන්ම , මහජනතාවගෙන්ම විශ්‍රාම වැටුපක් ලබන , හමුදා සේවයේ යෙදී සිටියෙකු , මෙසේ ස්ථානීය පරීක්ෂාවට පැමිණි නිසි ඉඩම් බලධාරියාගේ රාජකාරියට බාදා කිරීම සහ තර්ජනය කිරීම නීති විරෝදී කටයුත්තකි. එවැන්නක් සිදු වුයේ නම් ඒ පිලිබදව සොයා බලා කටයුතු කිරීම ගොඩකවෙල පොලිසියේ වගකීමකි. එසේම ප්‍රදේශයේ මහජනතාවගේ මැදිහත්වීම මත මේ වන ප්‍රදේශය රජයට පවරා ගැනීම සහ එම වනය ආරක්ෂා වීම සිදුවනු ඇත. වර්තමාන ඉඩම් පනතේ 38(අ ) අතුරු විධානය අනුව “හදිසිතාවය මත” ඉඩමක බුක්තිය පවා අත්පත් කර ගත හැකිය.
එසේම මෙම ඉඩම වන්දි ගෙවා හෝ නොගෙවා අත්පත් කරගැනීමට 1996 අංක 18 දරණ ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන පනතේ 17 (1) මගින් විදිවිධාන සලසා තිබේ. එයට අනුව මහජන අරමුණු වෙනුවෙන් මෙම අත්පත් කරගත හැකි අතර, වහාම මෙම විනාශය නවත්වන ලෙස විධානයක් නිකුත් කිරීමට ප්‍රාදේශීය ලේකම්ට බලය ලැබේ. එසේම ඉඩම් නැවත ලබාගැනීමේ (පුනර්ග්‍රහණය කිරීමේ ) (සංශෝධන) ආඥාපනතේ 2 (1) වගන්තියට අනුව අවුරුදු 8 ක් හෝ ඊට වඩා වැඩි කාලයක් අත්හැර දමා ඇති බවට රජයේ නියෝජිතයාට පෙනී යන කල ඒවා පවරා ගැනීමට හැකිය. මේ ආදී බොහෝ පනත් වලින් මේ පිලිබදව කටයුතුකිරීමට හැකියාව පවති .