වැලි,පස් සහ කළුගල් ප්‍රවාහනයට අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

පරිසර අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ,වැලි,පස් සහ කළුගල් ප්‍රවාහනය සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම මේ මස 30 වනදා සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවයි.

එසේම පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර ඇත්තේ ඊට අදාළ වැඩපිළිවෙළ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය විසින් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

මෙම ඛනිජ ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා අවශ්‍ය බලපත්‍ර ලබා ගැනීමට දෛනිකව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කකාර්යංශයට අයත් ප්‍රාදේශීය කාර්යාලවලට 1000 – 2000ත් අතර පිරිසක් පැමිණෙන අතර වසරකට නිකුත් කෙරෙන බලපත්‍ර ප්‍රමාණය ලක්ෂ 10 ඉක්මවන බවයි වාර්තා වී ඇත්තේ.

මෙම නව වැඩපිළිවෙළේ තවත් අරමුණක් වන්නේ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා වළක්වා ගැනීමයි.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ, මෙම ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වුවහොත් රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අවශ්‍ය කරන ඛනිජ ද්‍රව්‍ය මෙන්ම මහජනතාව විසින් සිදුකරන ඉදිකිරීම්වලට ද බලපෑමක් එල්ලවිය හැකි බැවින් මාර්ගගත ක්‍රමය ඔස්සේ බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළ බවයි.

Exit mobile version