මේ දිනවල පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පිහිටි වැව් දහතුන් දහසකට අධික සංඛ්‍යාවක් වාන් දමමින් පවතින බව ගොවිජන සහ වාරිමාර්ග අංශ සඳහන් කර තිබේ.
වාර්තා වන ආකාරයට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් වලින් සියයට අනූවක් පමණ වාන් දමන බව ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න පවසා තිබෙන අතර ඒ අනුව එම දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් දහතුන්දහස් පන්සීයක් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් හා ජලාශ 100කට ආසන්න සංඛ්‍යාවක් ද වාන් දමමින් පවතී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව් වලින් මහා පරිමාණ ජලාශ 30ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 60ක් වාන් දමන බව වාරිමාර්ග අධ්යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී. සුගීෂ්වර පවසා තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශවල සමස්ත ජල මට්ටම සියයට හත්තෑව දක්වාත් මහවැලි අධිකාරිය යටතේ පාලනය වන ජලාශවල සමස්ත ජල මට්ටම සියයට අසූව දක්වාත් වැඩි වී ඇතැයි ද අධ්යක්ෂවරයා පවසා තිබේ.
විදුලි බල මණ්ඩලය යටතේ පාලනය වන ජලාශ අතුරින් කැලණි ගඟ ඉහත්තාවේ පිහිටි කාසල්රී ජලාශය වසර තුනකට පසුව පෙරේදා (22 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට වාන් දමන බවත් වික්ටෝරියා ජලාශයේද වසරකට පසුව දොරටු පහක් ඉකුත් 21 වැනිදා ස්වයංක්‍රීයව විවෘත වී ඇති බවත් කොත්මලේ සහ රන්ටැඹේ ජලාශවලද වාන් දොරටු විවෘතව පවතින බවත් තවදුරටත් වාර්තා වේ.