පන්ති කාමරය තුලදී නිතරම නිදාගෙන සිටින පිරිමි ළමයෙකුට “තමුසේ අයිස් ගහනවාද?’ යනුවෙන් දිනපතා ප්‍රශ්න කිරීම නිසා පීඩාවට පත් වූ දරුවෙක් සිය දිවි හානිකරගෙන තිබෙන කනගාටුදායක පුවතක් වාර්තා වේ. නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයේ හීලෝගම, කුඹුක්වැව තුඹුල්ල මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලැබූ කලණ නැමති පිරිමි ළමයෙකු පසු ගිය 13 වැනිදා මෙසේ සිය දිවි හානිකරගෙන තිබේ.
එම පාසලේ එවැනිම සිදුවීමක් මීට පෙරත සිදුව තිබෙන බවට වාර්තා වුවත් එම සිද්ධිය සැකෙවින් දිගහැර දැනගැනීමට අපගේ විමර්ශනවලට නොහැකි විය. මෙම සිද්ධියට මුහුණ දුන් දරුවාගේ දෙමාපියන් වන්නේ කේ.ධම්මික ප්‍රියසාද් සහ තක්ෂිලා ධර්මප්‍රිය යන දෙදෙනාය.
පාසැලේ විදුහල්පතිවරයා නිතර නිතර පංතියට පැමිණ ළමයා මත්ද්‍රව්‍ය භාවිතා කරන බවට චෝදනා කිරීම ළමයාට දරා ගත නොහැකි පීඩනයක් බවට පත්ව තිබේ. පංති භාර ගුරුවරයා (උපාලි ) ළමයාගේ පියාටද දුර කථනයෙන් අමතා මෙම චෝදනාව කර තිබේ. මෙම ළමයා කිසිම මත් ද්‍රව්‍යයකට ඇබ්බැහි වී නැති බව සේම , ළමයා සෙම් /පීනස් තත්වයෙන් පෙලෙන හෙයින් නිතර සෑදෙන හිසේ කැක්කුම හේතුවෙන් පංතියේ ඩෙස්ක් එක මත හිස ගසා ගෙන සිටින බවත් පියා නිරන්තරයෙන්ම පැහැදිලි කර තිබේ. නමුත් කෙතරම් පැහැදිලිව කියා සිටියත් මෙකී ගුරුවරයා පියාව විශ්වාස නොකළ බවත් වාර්තා වේ.
මෙම සියලුම කාරණා නිසා ළමයාට වූ ලැජ්ජාව දරා ගත නොහැකිව තිබේ. ඉන අනතුරුව පීඩාවට පත්වූ දරුවා පාසැල් යාම ප්‍රතික්ෂේප කර තිබේ. මේ හේතුවෙන් පියා වරෙක පාසැලට ගොස් මේ පිළිබඳව සාකච්ජා කර ඇති අතර පංතිය භාර ගුරුවරයා ඊට පසුත් ළමයාට ඒ ආකාරයෙන්ම බැන වැඩි තිබේ . ඒවා දරාගත නොහැකි වූ එම දරුවා, එක් දිනක් පංතිය මැද්දේ නැගිට තමුන් කිසිම මත් ද්‍රව්‍යයක් භාවිතා නොකරන බවට කෑ ගසා ඇති බවද කියැවේ.
ළමයාගේ පියා සහ තවත් ළමයින්ද ඉහත කී තොරතුරු පැහැදිලිව ලබා දී ඇත්නම් ; ළමයාට ජීවිතය අපායක් කෙරවූ , වසර 16ක් පොළොවේ සැරි සැරූ ඒ අහිංසකයාගේ ප්‍රාණය නිදන කාමරයේ එල්ලී වා තලයට එක් කරවූ / එක් කරවීමට හේතු වූ / මග පෑදූ එවන් මානසික ආබාධිත සහිත වූවන් තව දුරටත් මෙම සමාජයේ නිදහසේ සැරි සරන්නේ කෙසේද යන්න ගැටළු සහගතය?. එසේම මරණ පරීක්ෂණයේදී සාක්ෂි දීම සදහා පාසලේ දරුවන්ට ඉඩ නොදී ගුරුවරුන් විසින් දරුවන් බියට වද්දා තිබෙන බවද කිය වේ. ශ්‍රී ලංකා පොලිසිය නිකවැරටියේ පොලිස් ස්ථානාධිපති නිදිද?. අපට සොයාගත හැකි වූ මෙම කරුණු ඔහු සගවන්නේ ඇයි?. ඔවුන්ගේ නීතිය ක්‍රියාත්මක නොකිරීම මත හෙට අපේ රටේ දරුවන්ට සිදුවන්නේ කුමක්ද?. මේ සියලුම කරුණු අප සාක්ෂි සහිතවම ලබාගෙන තිබේ. එසේ නම් ශ්‍රී ලංකාවට පොලිස් දෙපාර්තමේන්තුවක් අවශ්‍ය නොවේ. මාධ්‍යවේදීන් සහ ආයතන ප්‍රමාණවත් වේ. පොලිස්පති තුමනි, නිකවැරටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පරීක්ෂණ කණ්ඩායම සගවා ඇති කරුණු සියල්ලම සොයා බලා අදාළ විදුහල්පතිට සහ ගුරුවරයාට ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරා , නීතිය කෙලින් කරවීමට කටයුතු සලසන්න