විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් පෝලන්තය, රුමේනියාව, ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය, මැලේසියාව සහ මාලදිවයින වැනි රටවල රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයින් වෙත විශේෂ දැනුම් දීමක් සිදු කර ඇත.
ඒ අනුව අදාළ නිවේදනයේ දක්වා ඇත්තේ එවැනි රටවල රැකියා ලබාදෙන බව පවසමින් සිදු කරනු ලබන මුදල් වංචාකරුවන්ට හසු නොවන ලෙසයි.
ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සමග විදෙස් ගතව රැකියා කිරීමේ අපේක්ෂාවෙන් බොහෝ දෙනෙක් උනන්දුවෙන් බලාසිටින බැවින් ඉහත සඳහන් රටවල රැකියා ලබාදෙන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි දැන්වීම් ඔස්සේ දැන්වීම් පළකරමින් මුදල් ලබාගන්නා වංචාකරුවන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණි ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන බවයි.
විදේශ කටයුතු නියුක්ති කාර්යංශය විශේෂයෙන් ජනතාවට දැනුම් දෙන්නේ විදේශ රැකියාවක් සඳහා යාමට කිසියම් පුද්ගලයෙකුට හෝ ආයතනයකට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබා දීමට ප්‍රථමයෙන් අදාළ ආයතනය කාර්යංශ බලපත්‍රයක් හිමි නීත්‍යානුකූල ආයතනයක් ද යන්න සොයා බැලිය යුතු බවයි.
මහජනතාවට රැකියා නියෝජිත ආයතනවල නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු කාර්යංශයේ නිල වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය තුළින් හෝ කාර්යංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු මධ්‍යස්ථානයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම තුළින් ලබාගත හැකි බව ද ඔවුන් දන්වා ඇත.
එමෙන්ම එවැනි විදේශ රැකියා වංචාකරුවන් සම්බන්ධයෙන් දන්නේ නම් ඔවුන් පිළිබඳ තොරතුරු කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලබාදෙන ලෙස ද ඉල්ලීම් කරයි.
(විශේෂ විමර්ශන අංකය – දු.අංක 0112864241)