විරෝධතාවයට පැමිණි සජිත්ටත් විරෝධය

අද (02) කොළඹ දී දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති ඒකාබද්ධව විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණි.

මෙම විරෝධතාව “මර්ධනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු” යන තේමාව මුල් කරගනිමින් අද පස්වරු 3.30ට පමණ මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසළින් ආරම්භ විය.

මෙම විරෝධතා පා ගමන සඳහා සමගි ජන බලවේගය නියෝජන කරමින් එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින් ද , ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර ඇතුළු කණ්ඩායමක් හා 43 වැනි සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා හා පෙරටුගාමී සමාජවාදි පක්ෂය නියෝජනය කරමින් දුමින්ද නාගමුව මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

එසේ ආරම්භ වූ පා ගමන ටෙක්නිකල් හංදිය හරහා කොටුව දෙසට ගමන් කළේය.

විරෝධතාකරුවන් ටෙක්නිකල් හංදිය පසුකර පිටකොටුව දෙසට ගමන් කරන අතරවාරයේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මාර්ගය හරස් කරමින් රැඳී සිටියේය.

එහිදී විරෝධතාකරුවන් පාලනය කර ගැනීමට සංවිධායකවරුන්ට අපහසු විය.ඒ නිසා එම ස්ථානයේ සිටම ජන රැළියක් පැවැත්වීමට තීරණය කෙරුණි.

එහෙත් පැමිණ සිටි පිරිසගේ දැඩි විරෝධතාවය හේතුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජන රැළිය පැවැත්වීමට නොහැකිව එම ස්ථානයෙන් පිටත් වීමට සිදු විය.

කෙසේ හෝ රැස්ව සිටි පිරිස පොලීස් බාධකය පසු කරමින් ඉදිරියට යාමට උත්සහා කිරීමේ දී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර නොසන්සුන්තාවයක් ඇති විය.

කෙසේ හෝ අවසානයේ විරෝධතාකරුවන් එම ස්ථානයෙන් විසිර ගොස් පා ගමන එසේ අවසන් විය.

අනතුරුව විරෝධතාකරුවන් නැවත වරක් ඉදිරියට යෑමට උත්සාහ කිරීමේදී පොලීසිය සමග නොසන්සුන් තත්ත්වයක් හටගත් අතර පසුව ඔවුන් එම ස්ථානයෙන් විසිර ගියේය.
 

Exit mobile version