විරෝධතාවයට වැට බදිමින් පොලිසිය ලිපියක් නිකුත් කරයි

අද (02) දින කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමන කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර නොදෙන බව පවසමින් පොලිසිය ලිපියක් නිකුත් කර ඇත.

මෙම ලිපිය නිකුත් කර ඇත්තේ කොළඹ 2 කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරි K.A.E.N දිල්රුක් මහතාගේ අත්සනින් යතුව වන අතර අද අලුයම සිට පොලිස් නිලධාරින් විසින් මෙම ලිපිය භාර දීම සඳහා විරෝධතාවයට සහභාගී වීමට සිටින පාර්ශවකරුවන්ගේ නිවෙස් සහ කාර්යාල වලට ගොස් ඇති බව වර්තා වේ.

එම ලිපියේ සඳහන් වී ඇත්තේ මෙම විරෝධතාවය පැවැත්වෙන කාල සීමාවේ මාර්ග අවහිර වන බැවින් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය අවසන් කර නිවෙස් බලා ගමන් කරන ජනතාවට මෙන්ම කොටුව සහ පිටකොටුව තොග වෙළඳාමටද, සංචාරකයින්ගේ ගමනාගමනයටද  අවහිරතා ඇති විය හැකි බවයි.

එසේම පොලිස් ආඥා පනතේ 80 වැනි වගන්තිය යටතේ ශබ්ධ විකාශන යන්ත්‍රයක්, ග්‍රැමෆෝනයක්, මෙගාෆෝනයක්, හෝ අම්ප්ලිෆියරයක් හෝ යන්ත්‍රානුසාරයෙන් හෝ ශබ්ධය උපදවන හෝ නැවත නිපදවන හෝ විශාල කරන වෙනත් උපකරණයක් භාවිතා කිරීම සඳහා සහකාර පොලිස් ස්ධිකාරිවරයෙකුගෙන් අවසර ගත යුතු වුවත් විරෝධතාකරුවන් එවැනි අවසරයක් ලබාගෙන නොමැති බවත් පොලිසිය විසින් නිකුත් කළ ලිපියේ සඳහන් වේ.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනතාවට පිඩාවන ආකාරයට මාර්ග අවහිර වීමක් සිදු වුවහොත් පොලිස් ආඥා පනතේ සහ වෙනත් නීති යටතේ ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවයි.

Exit mobile version