විවාහ ලියාපදිංචියට විශේෂ පැහැදිලි කිරීමක් පොලිසියෙන්.

මෙම වසංගතය පාලනය කිරීමට ගෙන ඇති නිරෝධායන නියෝග රැසක් අද (16) දිනයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතව ඇති බව පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

මෙම නියෝගයන්ට අනුව අද දිනයේ සිට මහජනතාව ඒකරාශී වන උත්සව, වැඩමුළු ආදිය පැවැත්වීමට කිසිසේත් හැකියාව නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

හෙට දින සිට විවාහ මංගල උත්සව සඳහා ද අවස්ථාව හිමි නොවන අතර යම් විවාහයක් ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා බාධාවක් නොමැති බවද පොලිසිය පවසයි.

විවාහ ලියාපදිංචිය ද සිදු විය යුත්තේ මනාල යුවළ, දෙපාර්ශවයේම දෙමාපියන්, රෙජිස්ටාර්වරයා සහ සාක්ෂි කරුවන් දෙදෙනා පමණක් සහභාගී කරවා ගනිමින් වන අතර, වෙනත් කිසිදු පුද්ගලයෙකුට ඊට සහභාගි වීමේ අවස්ථාවක් නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

විවාහ ලියාපදිංචි කිරීමේ කටයුතු නිවසක දී හෝ යම් ස්ථානයක දී මෙම නිරෝධායන උපදෙස් වලට අනුකූලව සිදු කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

එසේම අද (16) දින රාත්‍රී 10 සිට හෙට (17) අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර එය අද සිට නැවත දැනුම් දෙන තුරු සෑම දිනකම ක්‍රියාත්මක වේ.

එම කාල පරිච්ඡේදය තුළ මාර්ග වල ගමන් කළ හැක්කේ අත්‍යවශ්‍ය සේවා වල සාමාජිකයින්ට හා ඊට අදාල වාහන සඳහා පමණි.

ඊයේ (15) දින නිරෝධායන රීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව නිරෝධායන රීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 54 612 කි.

මේ අතර පළාත් අතර පනවා තිබූ සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 479 දෙනෙකු ඊයේ දින ආපසු හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.

ළඟම ඥාතියකුගේ අවමංගල්‍යයක් හෝ ප්‍රතිකාර ගැනීමේ අවස්ථාවකදී පමණක් පළාත් අතර ගමන් කළ හැකිය.

අද දිනයේ සිට මුහුණු ආවරණ නොපළඳින පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ද රට පුරා ක්‍රියාත්මක කරන බවද පොලිසිය පවසයි.

Exit mobile version