විශ්‍රාම ගැන්වීමේ වයස් සීමා සංශෝධනය කෙරේ

ඊයේ (14) දිනයේ දී 2022 අයවැය විධිවිධානයන්ට අනුව රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වෙන කාල සීමාව සංශෝධනය කිරීමේ කච්‍ර ලේඛනය භාණ්ඩාගාර ලේකම් එස්.ආර්.ආටිගල විසින් නිකුත් කර ඇත.

අදාළ චක්‍රලේඛය රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛ 02/2021 නමින් නිකුත් කර ඇති අතර මේ වන විට එය සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත, සියලුම රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරුන් වෙත මෙන් ම රාජ්‍ය ව්‍යාපාර සභාපතිවරුන් වෙත ද යවා ඇත.

චක්‍රලේඛයට අනුව පාර්ලිමේන්තුවේ දී සම්මත වන ලද 2022 අයවැය නිර්දේශයන්ට අනුව මේ වන විට රාජ්‍ය ව්‍යාපාරයන්හි නියුතු නිලධාරීන්ගේ සේවා කාලය 2021 ජනවාරි මස 01 වැනි දින සිට වෛකල්පික විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 57ක් වන අතර කිසියම් අයෙක් වයස අවුරුදු 57 ඉක්මවා සේවයේ නිරත වීමට අදහස් කරන්නේ නම් ,සේවා දීර්ඝ කිරීමේ ඉල්ලීමක් නොමැතිව අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 62 දක්වා දීර්ඝ කර ඇත.

එමෙන් ම යම් නිලධාරියෙක් වයස අවුරුදු 57 – 62 දක්වා කාල සීමාව තුළ දී තම අභිමතය පරිදි විශ්‍රාම ගන්නේ නම් ඒ පිළිබඳව පත්වීම් බලධාරියා වෙත මාස 03කට පෙර දැනුම් දී විශ්‍රාම ගැනීමේ හැකියාව ඇත.

ඒ අනුව රාජ්‍ය ව්‍යාපාරයන්හි නියුතු සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සම්බන්ධයෙන් මීට පෙර නිකුත් කරන ලද 2013.01.15 දිනැති අංක 01/2013 රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය අවලංගු කරන බව ඊයේ (14) දින නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

Exit mobile version