වීරකුමාර, පියසිරි විජේනායක සහ රොජර් සෙනෙවිරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (15) දිනයේ දී හිටපු අමාත්‍ය වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න යන අය අත්අඩංගුවට ගෙන අධිකරණ හමුවේ ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර ඇත.

ඒ 2016 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට අවහිර කරමින් උද්ඝෝෂණ කළේයැයි යන චෝදනාවකට අදාළවයි.

අදාළ පැමිණිල්ල අද (15) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සී.රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී එහි විත්තිකරුවන් වන හිටපු අමාත්‍ය වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න යන අය අධිකරණය හමුවේ පෙනී සිට නැත.

මේ හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග ලබා දී ඇත.

මෙම පැමිණිල්ලේ සෙසු විත්තිකරුවන් වන අමාත්‍ය විමල් වීරවංශ මහතා රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව ගොස් ඇති බවත් අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බවත් ඔවුන්ගේ නීතීඥවරුන් අධිකරණය වෙත දන්වා ඇත.

එමෙන්ම මෙහි විත්තිකරුවෙක් ලෙස නම් කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පමණක් අද අධිකරණය හමුවේ පෙනී සිට ඇති බව වාර්තා වේ.

Exit mobile version