වී ගොවියන්ට රාජ්‍ය නිලධාරින්ගෙන් කැත වැඩක්.

ගොවි ජනතාව තරම් පීඩා විදින දුක් විදින බලාපොරොත්තු සුන් වන කණ්ඩායමක් ශ්‍රී ලංකාව තුළ සිටිය නොහැක.ඒ ගොවි ජනතාව ගොවිතැන් කර අස්වැන්න නෙලා ගැනීම දක්වාම රට ට ණය වී කණකර බඩු උකස් කර දහසක් බලාපොරොත්තු සහිතව කටයුතු කරත් අස්වැන්න නොලැබුණු බොහෝ අවස්ථාවල ඔවුන්ගේ ජීවිතයට දිගින් දිගටම උරුම වන්නේ කදුල සහ වේදනාව පමණි.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ම බිම් සැකසීමේ සිට සියලු වගා කටයුතු සිදු කිරීමේදී ඔවුන් දැඩි පීඩාවකට ලක්ව සිටින අතර මේ වන විට සමහර ප්‍රදේශවල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් කෘෂිකර්ම ගබඩා මගින් නිසි වේලාවට පොහොර ලබා දී නොමැති බව අප වෙත වාර්තා වේ.

කෘෂිකර්ම නිලධාරින් විසින් රැස්වීම් පවත්වා නිසි කන්නයට අනුව නිසි කාලයට වැපිරීම සදහා අවශ්‍ය උපදෙස් ලබා දී තිබුණත් රාජ්‍ය නිලධාරින් විසින් ගොවි ජනතාවට ලබා දිය යුතු පොහොර නිසි වේලාවට ලබා දී නොමැති බවට වාර්තා වේ.

ඒ හේතුවෙන් වී වැපිරීමේදී භාවිතා කරන බණ්ඩි පොහොර සහ යූරියා පොහොරද ගොවීන් ලබා ගෙන ඇත්තේ පුද්ගලික අංශයේ වෙළෙඳ ආයතනවලිනි.දින 45 කට පසුව අවශ්‍ය වන යූරියා සහ රතු කුඩු ද ඔවුන් ලබාගෙන ඇත්තේ මුදල් ගෙවා පෞද්ගලික වෙළෙඳසැල් වලිනි.

එවන් වටපිටාවක් තුළ අවශ්‍ය පොහොර මිළදී ගැනීම සිදු කර රජයේ කිසිදු මැදිහත්වීමකින් තොරව තම ගොවිතැන් කටයුතු සිදු කරගෙන ගියත් සමහර කෘෂිකර්ම ගබඩාවලට මේ වන විට ගොවීන්ට අවශ්‍ය පොහොර ලැබී තිබේ.

එසේ ලැබී තිබුණත් ඔවුන් මේ වන විට පෞද්ගලික වෙළෙදසැල් වලට මුදල් ගෙවා එම පොහොර ප්‍රමාණය ලබා ගෙන තිබේ.

නමුත් එම පොහොර කෘෂිකර්මය තුළින් ලබා නොගන්නේ නම් ඊළග කන්නය සදහා රජය මගින් ලබා දෙන පොහොර සහනාධාරය ඔවුන්ට නොලැබෙන බව කෘෂිකර්ම නිලධාරින් පවසන බව ගොවීන් අප වෙත තොරතුරු ලබා දී තිබේ.

තම ගොවිතැන වෙනුවෙන් තම අතකර කණකර බඩු උකස් කර ලබා ගත් මුදලින් ඉතා අමාරුවෙන් කටයුතු කළ ඔවුන්ට මේ වන විට සිදුව ඇත්තේ රාජ්‍ය නිලධාරින්ගේ නොසැලකිල්ල සහ වගකීම් විරහිත භාවය නිසා වන්දි ගෙවීමටයි. රජය කළ යුත්තේ මේ ආකාරයෙන් වැරදි කරන නිලධාරින් රාජ්‍ය සේවයෙන් නෙරපා හැරීමයි.

මේ සිද්ධිය පිළිබඳව වහාම සොයා බලා නිසි උපදෙස් ලබා දී ගොවි ජනතාව ලක්ව තිබෙන පීඩාවෙන් මුදවා ගැනීමට අවශ්‍ය කටයුතු කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදුකළ යුතුව තිබේ.

ගොවියන් දහදුක් විද හම්බ කර රාජය්‍ය නිලධාරින්ටද වැටුප් ගෙවීම සදහා බදු මුදල්ද රජයට ගෙවන්නේ මේ ආකාරයෙන් පීඩා විදීමට නොවේ.

එබැවින් ගොවි ජනතාව සමග දිගින් දිගටම සෙල්ලම් කර ඔවුන් පීඩාවට ලක් කිරීමට කෘෂිකර්ම නිලධාරින් කටයුතු නොකළ යුතු ය.

කෘෂිකර්ම නිලධාරින් නිසි වේලාවට පොහොර ඇනවුම් කර නිසි වේලාවට පොහොර ලබා දුන්නේ නම් මේ ආකාරයෙන් ගොවීන්ට පීඩා විදීමට සිදුවන්නේ නැත.

ඒ අනුව තම ගොවිතැනට අවශ්‍ය පොහොර නිසි වේලාවට කෘෂිකර්ම ගබඩා මගින් ලබා දී නොමැති නම් එය ලබා නොදීමට හේතුව කුමක්ද? යන්න සොයා බැලිය යුතු අතර එම බර ගොවි ජනතාව පිටින් නොතැබිය යුතුය.එසේම ඒවා ලබා නොගත්තේ නම් ඊළග කන්නයේ පොහොර ලබා නොදෙන බවට වන තර්ජනද නවතාලීමට කටයුතු කළ යුතුය.

එබැවින් ජනපතිතුමනි, කෘෂිකර්ම අමාත්‍යතුමනි මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කර සමහර ප්‍රදේශවල සිදුව තිබෙන මෙම අක්‍රමිකතා වහාම නවත්වාලීමට පියවර ගෙන ගොවි ජනතාවට සහන සලසන ලෙස අප වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙස ආයාචනා කර සිටින්නේ ගොවි කම්කරු ජනතාවගේ ඉල්ලීම මතයි.

Exit mobile version