වෙසක් සැමරීම, සසුනේ වගකීම සහ බොදුජන හිතසුව.

මේ වෙසක් දවසේ මගේ එකම පැතුම දරුවන් අපයෝජනය නොවන බුදු හා භික්ෂු  සසුනක් ලංකාවේ ස්ථාපිත වීමයි. කුඩා දරුවන්, නොතේරෙන දරුවන්, ආර්ථික අපහසුතා ඇති දරුවන් දෙමාපිය වගකීමෙන්, රාජ්‍ය වගකීමෙන් මිදීම උදෙසා පන්සලට දී බිහිවෙන භික්ෂු සමාජය සමාජ ප්‍රශ්ණයක් වී තිබේ. අවම වශයෙන් වයස අවුරුදු 14 සම්පුර්ණ (ඒ වන විට දරුවාට ප්‍රමාණික ලිංගික අධ්‍යාපනයක් පාසලේදී ලබා දිය යුතුය) දරුවකු දරුවාගේ කැමැත්තෙන් පමණක් භික්ෂු සමාජයට ඇතුලත් කිරීම වගකීමක් විය යුතුය. එවන් වයස සම්පුර්ණ කළ දරුවකු කැමත්ත ප්‍රකාශ කළ පමණින් එය සිදු නොවිය යුතුය. දරුවා ඒ කැමත්ත ප්‍රකාශ කරන මොහොතේ මුහුණ දෙන සමාජ ආර්ථික ගැටළු මෙන්ම මානසික ගැටළු ද සලකා බැලීමේ ක්‍රමවේදයක් තිබිය යුතුය. රටේ ශ්‍රම බලකාය, ආර්ථිකය හා සමාජ ප්‍රශ්න රාශියක වගකීමක් සමග නූතන භික්ෂු සමාජය බැඳී පවතී. එසේම රටේ දේශපාලනයට හෙවත් රාජ්‍ය පාලනයට භික්ෂුන් අනවශ්‍ය ලෙස මැදිහත් වීම, බලපෑම් කිරීම මේ සියල්ල සමාජ ප්‍රශ්න බවට පත්ව තිබේ.

දරුවන් අවභාවිතයේ සිට බලය අවභාවිතය දක්වා වර්ථමාන භික්ෂු සමාජය ට චෝදනා එල්ලවේ. බුද්ධත්වය හා බෞද්ධ දර්ශනය තුළ එවැනි අගතිගාමී සංඝ සමාජයක් හඳුන්වා දී නැත. අල්පේච්ච හා අලෞකික භික්ෂු සමාජයක් බිහි වේවායි මේ වෙසක් පොහෝ දිනයේ පතමි.

අනෙක් අතින් පවුල, සමාජය, හා දරුවන්ගේ වගකීම් නිවැරදිව ඉෂ්ට කරන, පන්සල සියල්ල රැස්කරන ආයතනයක් නොව සියල්ල අතහැර අලෞකික ජිවිතයක් ගතකරන, අල්පේච්ච හා සරල ජීවීතයක් ගත කිරීම වෙනුවෙන් තම ජිවීතය තෝරාගත් පිරිසක් වෙසෙන තැනක් බව  තරයේ වටහාගත් උපාසක උපාසිකා පිරිසක් බිහි වේවා යි පතමි. දුප්පත් දරුවන් මහණ කිරීමෙන් පසු. ඔවුන්ට වැඳ නමස්කාර කරමින් v 8 වලින් දාන මාන කරන පොහොසත් උපාසක උපාසිකා පරපුර. එක පුද්ගලයකු වෙනුවෙන් එවන් මිල අධික පුජාවල් කරනවාට වඩා ( සමාජයේ අසමානතාවය නඩත්තු කිරීම) දුප්පත් දරුවන්  පන්සලට දීමේ අවධානම ඇති පවුල් කිහිපයක් තෝරාගෙන ආර්ථිකව නැගී සිටීමට උදව් කරන්නේ නම්. අපගේ සිරි ලංකාවේ සම්බුද්ධ සාසනය හා භික්ෂු සාසනය තවත් කලක් පැවතීමට කරන ලොකුම පුණ්‍ය කර්මය ඔවුන් අතින් සිදුවනු ඇත.

භික්ෂු  හා උපාසක යන දෙපාර්ශවයම අවබෝධයකට නොපැමිණ මේ යන අධි කමාසුඛල්ලිකානය භික්ෂු සමාජයෙන් ඉවත් නොකරන තුරු යහපත් රටක් හෝ පවිත්‍ර භික්ෂු සාසනයක් අපේක්ෂා කිරීම සිහිනයකි.

ටිකිරි සුභාශනී.

Exit mobile version