ශ්‍රී රාවණා ලංකා සංවිධානය මාධ්‍යවේදී චමුදිතට එල්ල කල ප්‍රහාරය හෙලා දකියි.

මීට සුළු මොහොතකට පෙර අන්තර්ජාලය ඔස්සේ එක් වූ ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානයේ විධායක සභාව ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට එල්ල කල බියගුළු ප්‍රහාරය හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේධනයට අනුව, ජේෂ්ඨ මාධ්‍යවේදී  චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද (14) දින අලුයම් කාලයේ එල්ලවූ මැර ප්‍රහාරය ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානය පිළිකුළෙන් යුතුව හෙළා දැක තිබේ. එසේම එය බියගුළු ප්‍රහාරයක් බව ඔවුන්ගේ හැසිරීමෙන්ම පෙනී යන බවද සදහන් වේ.

එසේම මේ ප්‍රහාරය එල්ල වුයේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන මානව හිතවාදී සියලුම දෙනාටම බවද,  මේ රට විනාශමුඛයට ඇද දමමින් කටයුතු කරන දේශප්‍රේමී සළුපිළි පොරවා ගත් හොරුන්ට,  මංකොල්ලකරුවන්ට, මිනීමරුවන්ට, ස්ත්‍රී දූෂකයන්ට සහ පාරිසරික විනාශකාරීන්ට  එරෙහිව සිය හඬ අවදි කරමින් ඔවුන්ගේ සත්‍ය ජනතාව ඉදිරියට ගෙන ඒම වැළැක්වීම මෙහි අරමුණ බවද සදහන් වේ. තම මාධ්‍ය මෙහෙවර නොපිරිහෙළා නොභියව ඉටු කරන මොහුට පමණක් නොව මෙවැනි සියලු දෙනාගේම  හඬ නිහඬ කිරීමට  මෙම ප්‍රහාරය එල්ල වූ බව පැහැදිලිව දක්නට ලැබෙන බවද විධායක සභාවේ නිවේදනයේ දැක්වේ.

චමුදිත සමරවික්‍රම මහතා පසුගිය කාලය පුරාම සිය හඬ මෙහෙයවන ලද්දේ රටේ සුදු ඇඳගත් සොරුන්ගේ විවිධ පැතිකඩ ඉස්මතු කර සමාජය සජිවිකරණය කිරීමටය. මෙනිසාම බොහෝ හොරුන්ට තම හොරකම් කරගෙන යාමට බාධා ඇති වූ බවද,  එමෙන්ම දේශපාලන මැරයන්ට තම මැර දේශපාලනය කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වුනු බවද නිවේදනයේ සදහන් වේ.

ඇතැම් විට මෙය කුමන්ත්‍රණයක් විය හැකි බවද, පෙර දිනයේ කතා බහට ලක් වූ කොටවෙහෙරේ පුරාවිද්‍යා මංකොල්ලය අමතක කිරීම සදහා සිදු කල සැලසුම් සහගත ක්‍රියාවක්ද විය හැකි බවද, එසේත් නොමැති නම් රට තුල තිබෙන අනෙකුත් ප්‍රශ්න අමතක කිරීම සදහා සිදු කරන ලද ක්‍රියාවක්ද විය හැකි බවද කෙසේ වුවත් මෙහි අරමුණ කුමක්ද යන්න පැහැදිලි නැති වුවත් මෙයින් සිද්ද වනුයේ සමාජයේ තවත් පැතිකඩක් වසා දැමීම බවද වැඩි දුරටත් සදහන් කරයි.

මෙවැනි ක්‍රියා දිගින් දිගටම සිදු වුවහොත් එතුළින් මෙරට තුළ මාධ්‍ය නිදහස සීමා වන අතර රටේ විනාශය ද අත ළඟටම පැමිණෙනු ඇති බවද කුමන රජයක් යටතේ වුවද හෙට දින උපදින්නට සිටිනා දරුවන් වෙනුවෙන් කතා කරනා මෙවන් මාධ්‍යවේදීන්ගේ කට වැසීමට උත්සහ කළ ද එතුළින් සිදුවන්නේ ඔවුන් තවතවත් ශක්තිමත් වී ඔහු වැනි තවත් වටිනා මිනිසුන් මෙරටට බිහි වීම බවද සදහන් වේ. එබැවින් විය යුත්තේ ද මෙවන් ජඩ ක්‍රියාවන්ට බිය වී සැඟවීම නොවන අතර මාධ්‍යවේදීන්ගේ ශක්තිය වශයෙන් රටේ ජනතාව ද ඔවුන් හා එක්වීම බවද අපරාධ කරුවන්ද එකසේ විවේචනය කරනා මෙවන් මාද්‍යවේදීන් අපරාධ කරුවන්ට අසාදාරනයක් සිදු වූ විට එයට එරෙහිවද කතා කරනුයේ සියලුම දෙනා මෙහි පුරවැසියන් බව පසක් කර දෙමින් බවද සදහන් වේ.

එබැවින් සත්‍ය , සත්‍ය ලෙසම කතා කරන සියලුම මාද්‍යවේදීන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කල යුතු බවද, ඔවුන් මෙරටේ ජීවනාලිය බව අමතක නොකළ යුතු බවද, සමාජය සජීවීව පවත්වාගනිමින් අපරාධ කරුවන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් පවා කටයුතු කරන මාද්‍යවේදීන් ආරක්ෂා කිරීම සදහා එකතු වෙන ලෙසද සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිදානය නිකුත් කර ඇති නිවේදනයේ සදහන් වේ.

Exit mobile version