ශ්‍රී ලංකාවේ පොලිසියට රන් කුසලානයක්! මුලික අයිතිවාසිකම් කඩ කිරීම. ඉහලින්ම දේශබන්දු, පුජිත, සී.ඩි, නිලන්ත.

2023 වසර තුළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුවෙන් සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් පහළොස් කෝටි විසි තුන්ලක්ෂ හැත්තෑ දහසක (රුපියල් 152,370,000) මුදලක් අගතියට පත් වූවන්ට වන්දි වශයෙන් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස් නිලධාරීන්ට නියෝග කර ඇති බව බීබීසී සිංහල පුවත් සේවය වාර්තා කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ වාර්තා වලට අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මූලික අයිතිවාසිකම් හඳුන්වාදීමෙන් අනතුරුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නිසා වසරක් තුළ පොලිස් නිලධාරීන්ට සිය පුද්ගලික මුදල්වලින් ගෙවීමට සිදු වූ වැඩිම වන්දි මුදල් ප්‍රමාණය මෙය බවද වාර්තා කර තිබේ.

ඒ අනුව 2023 වසර මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම නිසා අගතියට පත්වූ වින්දිතයින් රැසකට යුක්තිය ඉටු වූ වසරක් ලෙස සැලකේ.

මානව හිමිකම් පෙත්සම්වලට අදාළ නඩු තීන්දු 8ක් මගින් මෙසේ වන්දි ගෙවන ලෙස නියම වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 20 ක් බව පෙන්වා දෙයි.

මේ ආකරයට මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් අතරට හිටපු පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර සහ සී.ඩී වික්‍රමරත්න, වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද ඇතුළත්.

එමෙන්ම, පොලිස් දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබූ මෙම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වෙනුවෙන් රජයට ගෙවීමට සිදුව ඇති වන්දි මුදල රුපියල් 3,250,000 ක් බව අදාළ වාර්තා මඟින් අනාවරණය කර තිබේ.

පුද්ගලයින් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, රඳවා ගැනීම, වධ හිංසාවට ලක් කිරීම, රාජකාරිය පැහැර හැරීම, බලය අයුතු ලෙස පරිහරණය කිරීම යනාදී චෝදනා සම්බන්ධයෙන් මෙම නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැරදි කරුවන් ලෙස නම් කර තිබේ.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ වත්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 75 බැගින් සිය පෞද්ගලික මුදල් වලින් වන්දි ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් වසරේ ජනවාරි මස නියෝග කරන ලදී.

ඒ අනුව අදාල නිලධාරින් දෙදෙනාට ම ගෙවන ලෙස නියෝග කෙරුණු සම්පූර්ණ මුදල රුපියල් කෝටි 15 ක්. ඉකුත් වසරේ පොලිස් නිලධාරියෙකුට නියම කෙරුණු වැඩිම වන්දි මුදල එය බවද වාර්තා පෙන්වා තිබේ.

එමෙන්ම , 2010 වසරේ මිල්ලව ප්‍රදේශයේ පදිංචි හිටපු හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස වධ හිංසනයට භාජනය කිරීම තුළින් වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දෙසැම්බර් මාසයේදී තීන්දු කරන ලදී.

(අපගේ සටහන – මහජන සේවක ආයතනයක් මෙසේ වීම ශ්‍රී ලාංකික ජනතාව ලැබූ දැවැන්ත පරාජයකි. මේවාට විසදුම් සොයා වහාම ඒවා නිවැරදි නොකිරීම, ඉදිරියේදී තව තවත් ම්ලේච්ඡ තත්වයන් වැඩි වෙන බව අප මීට පෙරද වාර්තා කර තිබේ. අපගේ පැරණි වාර්තා වල එද්වාට ගත යුතු විසදුම්ද පෙන්වා දි තිබේ. )

Exit mobile version