ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා හිංසනය වැඩි වෙලා. පොලිස් කාන්තාවන්ට පොලිසිය එපා වෙයි.

කාන්තා හිංසනය පිළිබඳව අප මහා උජාරුවෙන් කතා කළ ද කාන්තා හිංසනය වැඩි වශයෙන්ම තිබෙන්නේ ශ්‍රී ලංකා පොලිසිය තුළ කිවහොත් යමෙකුට හිත රිදීමක් විය හැක. එහෙත් අප සත්‍යයට මුහුණ දිය යුතුය. සත්‍ය සොයා යා යුතුය.  ශ්‍රී ලංකා පොලීසිය තුල සිටින දහතුන් දහසක් පමණ කාන්තා නිලධාරිනියන් මුහුණදෙන හිංසන ගැටලු සම්බන්ධව මාධ්‍ය මගින් අනාවරණය කළ ද ඒවා යටපත් වීමට මූලික හේතුව වී ඇත්තේ චෝදනාවට ලක් වන්නන් උසස් නිලධාරීන්ගේ හිතවතුන් වීමය.කාන්තා කාර්යාංශ මගින් විමර්ශන නිසි පරිදි සිදු නොවීම මෙලෙස  සිදුවීම් යටපත් වීමට බලපා ඇති හේතුවයි.

පසුගිය පොසොන් පොහොය දින මාධ්‍ය මගින් අනාවරණය වූ ලිංගික අල්ලසට එරෙහි වූ පොලිස් කාන්තාවක් තෙවැනි වරටත් වැඩ තහනමට ලක් වීම සම්බන්ධව පොලිස් මූලස්ථානය තවමත් නිහඬ පිළිවෙතක් අනුගමනය කරයි. එයට හේතුව වී ඇත්තේ එම පොලිස් කොස්තාපල්වරියට අයුතු ලිංගික යෝජනා ඉදිරිපත් කර ඇත්තේ මිහින්තලයේ ප්‍රසිද්ධ චීවරධාරිකි.  කාන්තා පහස සොයන්නකු බවට සංඝ සමාජය තුළ  මෙම චීවරධාරියා “කප්” ගැසූ අයෙකු බවටද ප්‍රචලිතය.  පොලීසියේ උසස් නිලධාරීන් සමග තිබෙන සමීප සම්බන්ධතා හේතුවෙන් මේ වන විට පොලිස් කාන්තාවටම වරද පැටවීමට අනුරාධපුරයේ උසස් නිලධාරියකු කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි. තමාට වූ හිංසනය සම්බන්ධයෙන් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කළ ද ප්‍රතිඵලයක් වී නොමැති අතර ඇයට එරෙහිව චෝදනා පත්‍ර පමණක් නිකුත් කරමින් තිබෙන බවද වාර්තාවෙයි.

ගම්පහ පොලිස් කොට්ඨාසයේ සිටින උසස් නිලධාරියෙකු සිය කාර්යාලය තුළ දීම ආධුනික නිලධාරීන් හට ලිංගික අතවර කිරීම සම්බන්ධවද සමාජ මාධ්‍ය තුල මේ වන විට නම් ගම් සහිතව ම පළකිරීම් පළවෙමින් පවතී. නිලධාරීනියන් තම රැකියාව අහිමි වී යැයි සිතා තමාට වූ හිංසනය සඟවාගෙන සිටිති. චෝදනාවට ලක්වන උසස් නිලධාරියා පොලිස් මූලස්ථානය ඉහල පුටුවල මිතුරකු වන බැවින් ඔහුගේ එම දූෂිත ක්‍රියා සැමදා යටපත් වීම සාමාන්‍ය දෙයක් වී ඇති බව මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

අවිස්සාවේල්ල පොලිස් කොට්ඨාසයේ ද මෙවැනිම නිලධාරියෙකු රාජකාරිය යෙදී සිටී . “සිකුරා සැම විටම ඔහුගේ නළලේ රැඳී සිටීම” ද විශේෂත්වයකි. කාන්තා නිලධාරිනියන්ට අයුතු යෝජනා සිදුකරන හඬ පට ද සමාජ මාධ්‍ය හරහා සංසරණය වී තිබුණි. එවැනි අනංගයන්  කොහේ හෝ මුල්ලකට ගාල් කර තැබීම වෙනුවට වගකිවයුතු තනතුරක් ලබා දීම ද මේ දිනවල පොලීසිය තුල පමණක් නොව සමස්ත සමාජය තුලම සංවාදයට ලක්ව තිබේ. චෝදනාවට ලක් වන උසස් නිලධාරියා නිසා අවිස්සාවේල්ල පොලිස් කොට්ඨාසයේ පොලිස් කාන්තාවන් අපහසුතාවට ලක් වූව ද වගකිව යුතු උසස් නිලධාරීන් මුණිවත රකිනු ලබති. 

එසේම ලිංගික අතවරයට එරෙහි වූ පොලිස් කාන්තාවක් වසර හයක් තුළදී ස්ථාන මාරුවීම් දහතුනක් ලබාදීමේ සිදුවීමක්ද මාධ්‍ය විසින් අනාවරණය වී ඇත. එහෙත් ඒවාට ආධාර අනුබල ලබා දී තිබුනේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේම  උසස් නිලධාරිනියන් කිහිපදෙනෙක් වීමද ලැජ්ජාවට කරුණකි.  මේ වන විට අසාධාරණයට ලක්වූ එම නිළධාරිනිය අධිකරණයේ නඩුවක්ද ගොනුකර තිබේ.

ඉතිහාසයේ පළමු ස්ථානාධිපතිනිය  වූ පද්මිණී මහත්මිය මේ වනවිට ඉන්නේ විශ්‍රාම සුවයෙන් ය. දෙවනියට පොලිස් ස්ථානාධිපතිනිය  ලෙස පත්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක කාංචනා මහත්මිය පසුගිය නම වැනිදා ද වු  සිදුවීම් වලක්වා නොගැනීමේ හේතුවට නැවතත් කැලණිය කොට්ඨාසයට සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා තිබේ. පොලිස් නිලදාරීන්  පවසා සිටින්නේ එම අවස්ථාවේදී තිබූ තත්ත්වයන් මත ස්ථාන මාරු කරන්නේ නම් බස්නාහිර පළාතේ සියලුම ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය රාජකාරි වලට යෙදවිය යුතු බවකි. පොලිස් නිලධාරීන් පමණක් නොවේ නීතියට අනුව නම් දේශබන්ධු තෙන්නකෝන්ගේ සිටම මේ වන විට සිටිය යුත්තේ හිරගෙදරය. නමුත් කාන්තාවකට පමණක් ඇගිල්ල දිගුකර නිහඩව ගැලවීමට තරම් පොලිස් දෙපර්තෙම්න්තුවේ වගකිව යුතු පුරුෂ පක්ෂයේ කොන්ද කැඩී තිබේ.

 පොලිස් රෝහලේ අධ්‍යක්ෂක ලෙස පෙර කටයුතු කළ ජේෂ්ඨ පොලිස් අධිකාරි මදාරා මහත්මියට සිදු වූයේ දේශපාලනඥයකුගේ පුත්‍රයකුගේ සේවා දිගුවට අනුමැතිය නොදීම හේතුවෙන්  ස්ථාන මාරු ලබා පිටව යාමට ය. එහෙත් ඇය කිසිදු හඬක් නොනගා  ස්ථාන මාරුව පිළිගෙන ගියේ රාජකාරිය කිරීමට කොහෙත් එකයි යැයි හිත මිත්‍රාදීන්ට පවසමිනි.

පොලිසියේ උසස්ම පුටුවකට සමීප කාන්තාවන්ට පමණක් විදෙස් සංචාර ශිෂ්‍යත්ව ලබාදීම පිළිබඳව ද පොලිස් නිලධාරිනියන් සිටින්නේ දැඩි අප්‍රසාදයකිණි.  මෙම සියලුම හිංසනයන් සම්බන්ධව සෙවීමට ක්‍රියාමාර්ග ගැනීමට පොලිස් ලමා හා කාන්තා කාර්යාංශය තිබුණද මේ වන විට එය නමට පමණක් සීමා වී තිබෙන්නේ කුමක් නිසාද යන්න සොයා බලනවිට අනාවරණය වී ඇත්තේ උසස් නිලධාරිනියන් කිහිප දෙනෙකුගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතයි. පොලිසියේ උසස් පුටු මේ පිළිබඳව දැන සිටියද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ රාජකාරියටත් එහා  හිතවත්කම් දුරදිග ගොස් ඇති බැවින් ය. 

මෙවර පොලිස් ස්ථානාධිපති තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණ වලට අයදුම්  කර ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂිකාවන් පස් දෙනෙකු පමණක් බව ආරංචිමාර්ග සදහන් කරයි.  පොලිසියේ උසස් නිලධාරින් කාන්තාවකට උසස් තනතුරක් දීමට මැළි වන්නේ දූෂිත ක්‍රියාවලට කාන්තාවන් එරෙහි වෙන නිසාවෙන් බව ද කියැවේ. කාන්තාවක් රටක් පාලනය කළ ද පොලිසිය උසස් නිලධාරීන් තවමත් කාන්තාව යන චරිතය කුණු කූඩයට දමා තිබීම සත්‍ය වශයෙන්ම විහිළු සහගතය. “බල්ලාගේ වැඩේ කිරීමට බූරුවා යෙදවීමේ ක්‍රමය” පොලිසිය තුළ දක්නට ලැබෙන  ප්‍රධාන දෙයකි. නමුත් පොලිස් ලොක්කෝ බහුතරයක් ඕනෑම කුණුගොඩක් රස විඳීමට පුරුදුව තිබේ. කාන්තාවන් ලඟ ඔවුන් හැසිරෙන්නේ අන්තඃපුරයට ගිය රජුන් සේය.  

විෂය පත සම්බන්ධයෙන් හසල දැනුමක් තිබෙන කාන්තාවන් කුණු කූඩයට දමා මෙලෝ හසරක් නොදන්නා කාන්තාවන් තමන්ගේ හිතවත්කම් මත තනතුරුවලට පත් කිරීමට වගකිව යුත්තේ කවුද?. එයට කිසිදු පිළිතුරක් නොමැත.  දිනෙන් දින පිරිහී යන පොලිස් සේවයෙහි මෙම අඩුපාඩු සම්බන්ධව පොලිස්පතිවරයාගේ අවධානය යොමු නොවන්නේ නම් ජනාධිපති වරයාගේ ඔහු අගමැතිවරයාගේ අවධානය යොමුවිය යුතුය . තැනට සුදුසු අයවලුන් පත් කිරීමට පොලිස් පති වරයා පියවර ගත්තද අමාත්‍යංශ ලේකම් වරයාගේ මේසය මත එම නියෝග දින ගණන් රැදීම පිටුපස තිබෙන අදිසි හස්තය කුමක්දැයි පොලිස්පති වරයා අවදානය යොමු කළ යුතුය.  කාන්තාවන්ට සිදුවන මෙවැනි ක්‍රියා  සම්බන්ධව මේ වන විට සමාජයේ කතිකාවතක් ඇතිවී ඇති අතර ඒවා ජාත්‍යන්තරය ද මනා අවධානයකින් බලා සිටිනු ඇත.

එපමණක්ද නොව ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ වැරදි වහාම නිවැරදි කරගත යුතුව තිබේ. රටේ සිදුවන දේවල් වලින් පාඩම් ඉගෙන ගෙන දේශපාලනීකරණයෙන් මිදුණු පොලිස් දෙපාර්තමේන්තුවක් සහ පවතින නීතියට අනුව පමණක් කටයුතු කරන “පොලිස්” යන වචනයේ පරිසමාප්ත අර්තයටම ගැලපෙන පොලිස් දෙපාර්තමේන්තුවක් වහාම නිර්මාණය නොකෙරෙන්නේ නම් , ස්ථීර වශයෙන්ම සාමන්‍ය ජනතාව විසින් දිගින් දිගටම පොලිස් නිලධාරීන්ට පහර දෙනු ඇති අතර “අතවරයට ලක්වන පොලිස් කාන්තාවන්ද” පොලිස් නිලධාරීන්ට පහර දෙනු ඇත.  

2018 වර්ෂයේ BBC පුවත්සේවය ද ” ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරිනියන්ට නිලධාරීන්ගෙන් සිදුවන ලිංගික හිරිහැර ” ගැන වාර්තා කර තිබේ .

https://www.bbc.com/sinhala/sri-lanka-37672155

Exit mobile version