චීන නෞකාවට තිබූ අවසරය ශ්‍රී ලංකාවෙන් අත්හිටුවයි

ශ්‍රී ලංකා රජය විසින් ,චීන අභ්‍යවකාශ චන්ද්‍රිකා පරීක්ෂණ යාත්‍රාවක් වන යුආන් වෑන්ග් 5 සන්නිවේදන නෞකාවට අවශ්‍ය පහසුකම් ලබා ගැනීමට හම්බන්තොට වරායට පැමිණීමට ලබා දී තිබූ අවසරය තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

මෙම තීරණය ගෙන ඇත්තේ මෙම යුආන් වෑන්ග් 5 නෞකාව ඔත්තු බැලීමේ නෞකාවක් වශයෙන් සලකා ඉන්දීය රජය එම නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය ශ්‍රී ලංකා රජය වෙත පළ කිරීමත් සමගය.

ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති මෙම තීරණය පිළිබඳව චීන රජය මේ වන විටත් ඔවුන්ගේ අප්‍රසාදය නිල වශයෙන් දක්වා ඇති බව ද වාර්තා වී ඇත.

ඒ අනුව ඊයේ (06) දිනයේ චීන තානාපති කී ෂෙන්ග් හොන්ග් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මෙසේ චීන රජයේ නිල අප්‍රසාදය දැනුම් දී ඇත.

මෙම නෞකාව චන්ද්‍රිකා නිරීක්ෂණය කිරීමේ සහ අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල ස්ථානගත කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අති නවීන පහසුකම් වලින් සමන්විත වන අතර එය සැප්තැම්බර් මස 11 වනදා හම්බන්තොට වරායට ළඟාවීමට නියමිතව තිබුණි.

අදාළ නෞකාව මෙසේ හම්බන්තොට වරාය වෙත ළඟාවන්නේ ඉන්ධන ඇතුළු අනෙකුත් පහසුකම් ලබා ගැනීමේ අරමුණිනි.

කෙසේ නමුත් මේ හේතුවෙන් මේ වන විට චීනය සහ ඉන්දියාව ශ්‍රී ලංකාව සමග බරපතළ රාජතාන්ත්‍රික ගැටුමකට මුලපුරා ඇති බව ද වාර්තා වේ.

Exit mobile version