ශ්‍රී රාවණා ලංකා ජාතික සංවිධානයෙන් තවත් පැමිණිල්ලක් (විඩියෝ සහිතයි)

සම්පූර්ණ පැමිණිල්ල සමග නීතිමය කාරනාද අඩංගුය.

උඩවලව පොලිස් බලප්‍රදේශයේ පනහඩුව, වෙහෙරබින්දයාය ගම තුල පිහිටි  “රන්මිණි කොත” නමැති පෞරාණික වෙහෙරක් සහ සලපතන මළුවක් බවට විශ්වාස කරන ස්ථානය තුල යම් ඉදිකිරීමක් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම ඉදිකිරීම සදහා සිදු කර තිබෙන කැනීමෙන්  එම ස්ථානය තුල පුරාවස්තූන් බවට අනුමාන කල හැකි  විවිධ දේ මතුව විනාශ වී  තිබෙනවා.

ශ්‍රී නිශ්ශංක මායාදුන්න (198113202148)  වන මා අපරාධ වැළක්වීමේ තොරතුරු ලබා දීමේ නීතිමය බැදීම ඔස්සේ මට පෞද්ගලිකවම තිබෙන පුරවැසි අයිතිවාසිකමක් ලෙසද, රවණා ලංකා සංවිධානය වෙනුවෙන්ද මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමි.  

මෙම ස්ථානය පිළිබදව මාධ්‍ය මගින්ද අනාවරණයක් කරන ලද අතර මේ වන තෙක්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිලිබදව කිසිදු සොයා බැලීමක් සිදු කරන බවක් පෙනෙන්නට නැති අතර, පුරා විද්‍යා දෙපාර්තමේන්තුව රත්නපුර නිලධාරීන් විසින් මෙම ඉදි කිරීම සදහා අවසර ලබා දී තිබෙන බව දැනගන්නට තිබෙන අතර එවැනි අකාරයකින් ඉදිකිරීම් කිරීමට හෝ කැනීම් කිරීමට අවසර ලබා දීමට පුරාවිද්‍යා නිලදාරීන්ට නීතිමය වශයෙන් බලයක් නැත. එසේම මෙම අපරාධය සිදු කරන පුද්ගලයන් අවසර ලබාගෙන තිබෙන බවට ඉදිරිපත් කර තිබෙන ලියවිල්ල සත්‍ය ලියවිල්ලක්ද යන්නද සැක සහිතය. නීතියට අනුව එවැනි ලියවිල්ලක් ලබා දීමට පුරාවිද්‍යා නිලධාරීන්ටද අවසරයක් නැත.  තවද මෙම ස්ථානය තුල නිධන් හෑරීම සදහා ද මෙම ඉදිකිරීමත් සමගම කටයුතු සිදුවෙමින් පවතින බවටද විවිද  කට කතා පැතිරී යන අතර මෙම ස්ථානය තුල යම් පූජා භාණ්ඩ කිහිපයක්ද මාධ්‍යවේදී දාපනේ  ජයන්ත නානායක්කාර මහතාගේ ගවේෂණයේදී හමුවී ඇත. ඔහු සතුව ඇති වීඩියෝ වල මල්, පහන්, පහන්  තිර, රතු රෙදි කැබලි ආදී විවිද දේ ඒ අවට තිබෙනුද දැකිය හැකිය.  

සලපතන මළුවක් බවට ජනප්‍රවාදයේ කියවෙන ස්ථානයට යාම සදහා සදහා ඩෝසර් යොදා මාර්ගයක්ද ඉදි කර තිබෙන අතර එම ඩෝසර් යන්ත්‍ර වල ක්‍රියාකාරිත්වය  හේතුවෙන් යම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති කළාත්මක ගල් පතුරුද කැඩී බිදී ගොස් තිබෙන බව  මෙම ස්ථානයේ අප කල ගවේෂණයේදී  දක්නට ලැබුණි. එම ස්ථානය පුරා ප්‍රතිමා කළාවේ සහ මූර්තිවල කොටස් යයි සිටිය හැකි වස්තූන්  තැන තැන විසිරී තිබේ. එසේම එම කැනීම් කර තිබෙන විශාල වලවල් තුල අතුරන ලද ගල් සහ ගල් පතුරුද  දක්නට ලැබෙන අතර  කැනීම් කිරීමේදී  සමහර ඒවා විනාශ  වී තිබෙන බවද දක්නට ලැබේ. ඒ අනුව මෙම ස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් ලෙස පැහැදිලි සාධක පෙනෙන්නට තිබෙන අතර ශ්‍රී ලංකාවේ කිරුම් මිනුම් සදහා ආරම්භක ප්‍රදේශයද මෙම ප්‍රදේශයන් බව ද සදහන් වේ.  10, 11 වසර දරුවන්ගේ ඉතිහාසය පාසල් පෙළපොතේද මෙම ප්‍රදේශයන් ගැන සදහන් වන බව සමහරු ප්‍රකාශ කරති.

එසේම වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි, යන හෙළ ඉතිහාස සංකල්පයට අනුව ඉදිව තිබෙන ඉපැරණි ගම්මානයක් වන ප්‍රදේශයේ පිහිටි  මෙම ස්ථානය දැනට ශ්‍රී ලංකාවේ සොයාගෙන තිබෙන ගල් සොරොව්වක් සහිත තුන් වැනි ස්ථානය බවටද සැලකෙන අතර 2002 වසරේ හෝ යම් කාලවකවානුවකදී හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් මේ ස්ථානයේ තිබෙන වටිනාකම පිලිබදව පාර්ලිමේන්තුවේදී යම් ප්‍රකාශයක් කර තිබෙන බවට තොරතුරු තිබේ.

තවද ඉතිහාසයට අනුව මෙම ඉඩම සම්පූර්ණයෙන්ම රජයට අයත් විය යුතුය. ඒ හැර කිසිවෙකුටත් අයිතිවාසිකමක් තිබිය නොහැක. එසේ කවුරුන් හෝ අයිතිවාසිකම් කියන්නේ නම් එක්කෝ වංචනික ඔප්පු සකසා විය යුතුය. එසේත් නොමැති නම් රාජ්‍ය නිලධාරීන් විසින් නීතිය අවභාවිතා කරමින් සකසන ලද  ඔප්පු විය යුතුය. ඒ කෙසේ වෙතත් පුරාවිද්‍යාත්මක ස්ථානයක් විනාශ  කිරීම සදහා හෝ කුලියට ලබා දීම සදහා හෝ කිසිම පුද්ගලයෙක්ට නීතිමය වසයෙන් අවසර නැත. කෙසේ හෝ කූට ලේඛන සකසා මෙම ඉඩම් මංකොල්ල කර  තිබෙන බවට අපට සැක පහල වේ.

තවද පුරාවිද්‍යා නිලධාරීන්ට හෝ අධ්‍යක්ෂක ජනරාල්ට මෙවැනි ස්ථානයන්  තුල කැනීම් කිරීමට අවසර ලබා දිය නොහැකි අතර එසේ ලබා දෙන්නේ නම් පුරාවිද්‍යා පනතේ 21, 31, සහ 32 වන වගන්තීන් යටතේ සිදු විය යුතුය. එසේ සිදුව නොමැති බව පැහැදිලිවම ඔප්පු වී තිබෙන අතර ඒ අනුව මෙම ස්තානය තුල කැනීම් කිරීමට අවසර ලබා දී ඇති නම්, එසේ අවසර දුන් රාජ්‍ය නිලදාරියාද වරදකරුවෙකි. ඔහු එම වරද කර ඇත්තේ මෙම ස්ථානය  තුල  පුරාවිද්‍යා සාධක තිබෙන බව දැන දැනම වන අතර  එම වරද කිරීමට ආධාර සහ අනුබල ලබා දී ඇති බව පැහැදිලිය. එසේම ඒවා විනාශ වන බව දැන දැනම විනාශ කිරීම සදහා  අවසර ලබා දී තිබේ. නීතිමය වශයෙන් එවැනි අවසරයක් ලබා දීමට නොහැකි බව දනිමින්ම අවසර ලබා දීමෙන් පෙනී යන්නේ මේ පිටුපස යම් කුමන්ත්‍රණයක් සිදු වන  බව වන අතර කුමන්ත්‍රණයේ ප්‍රතිපලයක් ලෙස මේ විනාශය සිදුව තිබේ.

1988 අංක 73 දරණ පනතට අනුව “ ප්‍රතිමා, නෙලනු ලැබූ, හෝ සකස් කරනු ලැබූ ගල් හෝ” ලෙස සදහන් වන අතර මෙම ස්ථානය තුල හා අවට මේ සියලු දේ දක්නට ලැබේ. ඒ අනුව මෙම ප්‍රදේශය සංස්කෘතික දේපලක්ද වන අතර සංස්කෘතික දේපලක් යනු, “ පුරාවිද්‍යා කැඩී බිදී ඇති කලාත්මක හෝ ෙඑතිහාසික ස්මාරකවල පුරාවිද්‍යාත්මක බිම්වල කොටස් “ වන අතර මෙම පෙදෙසේ සහ කැනීම් කර තිබෙන ස්ථානයේ එවැනි දේ මතුව තිබෙන අතර කැනීම් සිදු කිරීම නිසා ඒවාට හානි සිදු වී තිබේ. මෙම ප්‍රදේශය තුල ප්‍රතිමා  කලාවේ හා මූර්තිවල මුල් ලකුණු දක්නට ලැබේ. තවද මෙම මෙම ස්ථානය  මානව පැවැත්මේ සියළු ලාංඡන සහ මානව ක්‍රියාකාරීත්වයේ සියලු ලක්ෂණ මතුව තිබෙන ස්ථානයකි. එය 1998 අංක 24 දරන පනතෙහි 16 වන වගන්තිය එය මනාව විස්තර කර තිබේ.

නීතියට අනුව පුරාවස්තු තිබෙන භූමි ප්‍රදේශ සියල්ලම අයත් වන්නේ රජයටය. ඒ සදහා කිසිවෙකුටත් අයිතිවාසිකම් කිව නොහැකි අතර විහාර දේවාලගම් පනත යටතේද  අයිතිවාසිකම් කිව නොහැකිය. විහාර දේවාලගම් පනත යටතට යම් ඉඩමක් අයත් වුවද ඒවා රජයේ නොහොත් මහජනතාවගේ වැදුම් පිදුම් කිරීමට අයත් ස්ථාන වේ. ඒවා අයත් වන්නේ භික්ෂූන් වහන්සේලාට නොව, වැදුම් පිදුම් කරන ජනතාව නොහොත් රජයටය. ඒවා සියල්ල භාවිතා කල යුත්තේ බෞද්ධ ජනතාවගේ ආගමික සංවර්ධනය උදෙසාය. විහාර දේවාලගම් පනත තුල ඒවා පැහැදිලිව සදහන් වන අතර යම් හිමිකමක්, යම් භික්ෂූන් වහන්සේ නමක් විසින් ඉදිරිපත් කරන්නේ නම් එය කල යුතු ආකාරය විහාර දේවාලගම් පනත තුල පැහැදිලිව තිබෙන අතර , බස්නායක නිලමේවරුන් පත් කර තිබෙන විහාරස්ථාන වල කටයුතු සදහා හාමුදුරුවන් වහන්සේලාට පෙනී සිටීමට හැකියාවක් නැත. ඒ පිලිබදව විහාර දේවාලගම් පනත තුල පැහැදිලිවම පෙන්වා තිබේ.

  ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2006 පුරාවිද්‍යා ප්‍රතිපත්තියෙහි “ පුරාවිද්‍යාත්මක ස්මාරක “ විස්තර කර තිබෙන්නේ, පුරා විද්‍යා ආඥා පනත මගින් විස්තර කර ඇති පරිදි,  “පුරාණ මනුෂ්‍ය ක්‍රියාකාරීත්වය හෝ ජනාවාසයක් පිළිඹිඹු කරන ද්‍රව්‍යාත්මක සාධක සහිත ස්ථානයක්” ලෙසය. මෙහිදී චංචල පුරාවස්තු විස්තර කිරීමේදී “1815 පෙර යුගයකට කාලනීර්ණය කල හැකි චංචල මනුෂ්‍ය නිර්මාණයෝ අයත්” වන බව දක්වන අතර “ස්පර්ශ කල නොහැකි සංස්කෘතික උරුමය වුවද පුරාවිද්‍යාත්මක උරුමයන්” ලෙස පුළුල් නිර්වචනයට ඇතුලත් වන බව වැඩි දුරටත් විස්තර වේ.

එසේම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක්  පුද්ගලික කැනීමකට, ඉදිකිරීමකට අවසර ලබා දීම දිය නොහැකි බවද පැහැදිලිය. දැනට සිදුව තිබෙන විනාශය සහ තොරතුරු  වලට අනුව ඉඩම් හිමිකරුවන් සිටි නම් ඔවුන්ද, ඉඩම් හිමිකම් සැකසු රාජ්‍ය නිලධාරීන්ද සිටී නම් ඔවුන්ද, මේ කැනීම් සහ ඉදිකිරීම් සදහා අවසර ලබා දුන් පුරාවිද්‍යා නිලදාරියාද, කැනීම් සිදු කරන ලද අයද, ඩෝසර් රථ යෙදු අයද ඇතුළුව සියලු දෙනාම විවිධ  චෝදනා යටතේ වැරදි කර තිබේ. ජාතියක හෝ දේශයක ඉතිහාසය යමෙක් විනාශ කරයිද, ඒ සදහා උදව් උපකාර කරයිද, ඔවුන් ජාතිද්‍රෝහී, සහ දේශද්‍රෝහීන් වේ. ඒ අනුව මේ සමස්ත ක්‍රියාවලිය තුල ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 21, 23, 26, 90, 104, 109, 112, 113, 113 අ (1) , 120, 138, 139, 162, 184, 198, 193, 199, 204, 215, 289, 291, 290, 407, 408, 452, 457, සහ 459 යන වගන්ති වලින් කියවෙන වැරදි විවිධ අය විවිධ ලෙස වෙන් වෙන් වත්, සමූහිකවත්  සිදු කර තිබෙන බව දක්නට තිබේ. ඒ අනුව තව දුරටත් මේ විනාශය සිදු කිරීමට ඉඩ නොතබා වහාම මේ විනාශය නවතා දමන්නටද, වැරදි කරුවන් තරාතිරම නොබලා අත් අඩංගුවට ගෙන හෝ නොගෙන අධිරණයට ඉදිරිපත් කර නීතියට අනුව  නඩු පවරා දඩුවම් ලබා දීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටිමු. සියලු දේ පවතින නීතියට අනුව පමණක් සිදු කරන ලෙස ද , විවිද උපක්‍රම හෝ බලපෑම් නිසා නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම හෝ නීතියෙන් බේරී යාමට වැරදි කරුවන්ට ඉඩ නොතබන ලෙසද වැඩි දුරටත් ඉලා සිටිමි.      

Exit mobile version