ශ්‍රී ලංකා පොලිසියේ වෛරය සහ මානව හිමිකම්.

අද ජගත් මානව හිමිකම් දිනයයි.  ජගත් මානව හිමිකම් දිනයට පමනක් සීමා වී තිබෙන මේ මානව හිමිකම් මිනිසුන් සුරකින්නේද?. ශ්‍රී ලංකාවේ තත්වය කෙබඳුද? ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු අනෙකුත් ආයතන මේවා සුරකින්නේද?. යන්න පිලිබඳව මෑතකදී සිදු වූ සිදුවීම් සමග සැසඳීමක් කරන්නට අප කටයුතු කළා. මේ ලිපියෙන් අප බලාපොරොත්තු වන්නේ මහජනයා සමග නිරන්තරයෙන්ම ගැටෙන පොලිස් දෙපාර්තමේන්තුව තුල පවතින තත්වය පිලිබඳව පමණක් අවධානය යොමු කිරීමටයි. එහිදී අපේ අවධානාය යොමු වන්නේ ප්‍රධාන කරුණු කිහිපයක් දෙසයි.

පොලිසිය සහ මහජනතාව අතර සිදු වූ ආසන්නම සිදුවීම වන්නේ ඇඹිලිපිටිය පනාමුර පොලිසියේ අත් අඩංගුවේදී තරුණයෙකු මිය යාමයි. ඊට දින කිහිපයකට පෙර මහනුවර පූජාපිටියේදී පොලිස් 119 අංකයට ලැබුණු ඇමතුමකට අනුව පරීක්ෂණ පැවැත්වීමට ගිය පොලිස් නිලධාරීන්ට එම මත් පැන් සාදයේ සිටි පුද්ගලයන් පහර දීමක් සිදු කර තිබුණි. එම කාලවකවානුවේම තවත් ප්‍රදේශයකදී පොලිස් නිලධාරීන්ට පහර දීමක් සිදු විය. එසේම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාද තරුණයෙකුට පහර දීමක් පිලිබඳව සමාජගත විය. එම නිලධාරියාගේ ප්‍රශ්නය සමග පැටලුනේ නීතිඥවරයෙකුගේ පුතෙකු බවද වාර්තා විය. මීට අවුරුදු කිහිපයකට පෙර ඇඹිලිපිටියේදීම පොලිස් හදිසි ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ ඇඹිලිපිටිය පොලිසියේ  පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට පහර දීමක් නිසා ඇති වූ සිද්ධියේදී පොලිස් අධිකාරි ධර්මරත්න විසින්ද තරුණයෙකුට පහර දී මරා දැමු බවට ජනගත වූ අතර එහිදී පොලිස් නිලධාරීන් 22 කට ආසන්න ප්‍රමාණයකට නඩු පැවරී තිබේ. එසේම පසුගිය සමය තුල පොලිස් මත්ද්‍රවය නාශක කොට්ඨාශයේ නිලධාරීන්ද අත් අඩංගුවට පත් වන්නේ තහනම් මත්ද්‍රවය පිලිබදව ප්‍රශ්නයකටය. ඊට පෙර තවත් පොලිස් නිලධාරියෙකු අත් අඩංගුවට පත් වන්නේ කුඩු සමඟය. එසේම සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රවය වලට සම්බන්ධ පුද්ගලයන් බොහෝ දෙනෙකු පොලිස් භාරයේ සිටියදීම මිය ගියහ.  තවත් සමහරු මිය යන්නේ ආයුධ පෙන්වීමට ගොසිනි. එසේම තවත් පොලිස් නිලධාරීන් විවිධ දේශපාලන පක්ෂ සමග සබඳතා පවත්වන අතර පසු ගිය දිනෙක “ අපේ ආණ්ඩුව “ ලෙස ප්‍රසිද්ධියේම ප්‍රකාශයක් කරන්නට පොලිස් අදිකාරිවරයෙකු පෙළඹී තිබුණි. එසේම මීට ටික කාලයකට පෙර පෑලියගොඩ පොලිසිය තුලදී පොලිසියේ අත් අඩංගුවේ සිටි අපචාරයන් වලට සම්බන්ද කාන්තාවන්ට ජංගම දුරකථනය දීම නිසා ඇති වූ ආරවුලකදී පොලිසිය තුලදීම පොලිස් පරීක්ෂකවරයෙකුගේ බෙල්ලෙන් අල්ලා බිත්තියට හේත්තු කර පහර දීමට තැත් කල නීති සිසුවෙකු පිලිබඳව ද වාර්තා විය. එම සිද්දියේදී ද පොලිස් නිලධාරීන්ටද නඩු පැවරීම් සිදුව තිබේ. මහරගමදීද පොලිස් නිලධාරියෙකුගේ ඇගිලි කිහිපයක් අහිමි විය. එසේම ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලට විරුද්ධව කර තිබෙන පැමිණිල්ලක අධිකරණය බී වාර්තාවද පසු ගිය දිනයක අධිකරණය මගින් ඉවත් කර තිබෙන අතර එහිදීද නීතිඥ වරයෙකු වංචනික ලෙස පෙනී සිට අධිකරණය නොමග යැවීමක් කර තිබෙන බවට නැවත පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබේ. එසේම පසුගිය දා මහනුවර ශ්‍රී දළදා මාලිඟාවේ පැවති අවසන් රන්දෝලි පෙරහරද සජීවී ලෙස පැරණි පෙරහරක් පෙන් වූ බවටද පොලිස් මූල්ස්ථානයට පැමිණිලි කර තිබුනද ඒවා පිළිබඳවද මේ වන තෙක්ම පොලිසිය ක්‍රියාත්මක වී නැත. එසේම පසුගිය දිනෙක රාජ්‍ය අමාත්‍යවරයෙකුටද චෝදනා එල්ල වුයේ බන්ධනාගාර රැඳවියන්ට තර්ජනය කිරීමක් පිලිබඳවය.

ඉහත සදහන් කල කාරනා වලට අමතරව ශ්‍රී ලංකාවේ පොලිස් ස්ථාන  තුල අවුරුදු ගණනක් විභාග නොවුණු පැමිණිලි මෙන්ම නිරපරාදේ නඩු වැටුණු මිනිසුන්ද සිටිති. එසේම විවිධ හේතූන් මත ආන්දෝලනාත්මක ලෙස සැකකරුවන් නිදහස් වීමද දක්නට තිබේ. මේ නිදහස් කිරීම් සහ පැමිණිලි විභාග නොකිරීම් සිදු වන්නේ විවිධ බලපෑම් සහ හිතවත්කම් හේතුවෙන් බව පැහැදිලිය. අප ඉහතින් සදහන් කල ක්‍රියාවන් දිනකට සියගණනක් සිදුවන බව අපට තොරතුරු තිබේ. ප්‍රසිද්ධියට පත් වන්නේ ඉන් කිහිපයක් පමණි.

පනාමුර පොලිස් අඩංගුවේදී මිය ගිය පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටිමින් උද්ඝෝෂණ කලේ කවුරුද?. මේ උද්ඝෝෂකයන් මේ මියගිය පුද්ගලයා වෙනුවෙන් යමක් එම පවුල වෙනුවෙන් කලාද යන්න සොයා බැලිය යුතුය. එම පුද්ගලයාට නඩු තිබෙන්නට ඇති. පැමිණිලිද තිබෙන්නට ඇති. විශ්වාස කටයුතු තොරතුරු වලට අනුව නම් අවසාන පැමිණිල්ලට හේතුව වී තිබෙන්නේ ඔවුන්ගේ හේනට තම බිරිඳ සහ පැමිණිලිකාර දියණිය අනවසරයෙන් ඇතුල් වීමයි. එසේ ඇතුල් වීමට ඔහු විරෝදය පා තිබෙන්නේ එම හේන තුල වල් ඌරන්ට බදින තුවක්කු අටවා තිබීමයි. එයින් තම බිරිඳට හෝ දියණියට හානියක් වූවානම් යන බියෙන් බැන වැදීමෙන් මෙම ආරවුල ඇති වී තිබේ. එහෙත් පොලිසිය තුලදී ඔහු මරුනාද, මරා දැමුවාද කියන්නට අප නොදනී. එම ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණය සදහා සහභාගී වී තිබෙන්නේ සහ එය සංවිධානය කර තිබෙන්නේ එම ප්‍රදේශයේ අපරාධකරුවන් වීමද විශේෂත්වයකි. අපරාධ කරුවන් පොලිසිය සමග තරහින් පසු වන්නේ පොලිසිය නිසා අපරාධ කිරීමට නොහැකි නිසාය. එම උද්ඝෝෂණයේ ප්‍රධාන සැලසුම් කරු වන්නේ “ගංජා  සිවා” නමැති අන්වර්ථ නාමයෙන් සිටින කේරල ගංජා විකිණීම ඇතුළු විවිධ සමාජවිරොදී ක්‍රියාවන් සිදු කරන්නෙකි. එහිදී මෙම උද්ඝෝෂකයන්ගේ තවත් සැලසුමක් ලෙස මාද්‍යවේදීන් සහ පොලිසිය අතර ආරවුලක්ද නිර්මාණය කෙරෙමින් තිබිණි. මෙහිදී මාධ්‍යවේදීන්ටද ප්‍රහාරයක් එල්ල වූ අතර එහි පැමිණි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්ටද බාධා ඇති විය.  ඔවුන්ගේ සැලසුම දැන ගැනීමත් සමග මාධ්‍යවේදීන් පොලිස් ආරක්ෂාව යටතේ පොලිස් ස්ථානය තුලම රැදී සිටියහ.  මේ සිද්දියේදී නිලදාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. දැන් ඔවුන්ගේ දරු පවුල් නඩත්තු කරන්න සහ ඔවුන්ට නඩු වැටුනොත් නඩු කීම සදහා මුදල් සෙවීමට සිදු වෙයි. ඔවුන් නිවැරදි නම් අනිවාර්යෙන්ම මහජනතාව සමග ඔවුන්ගේ වෛරයක් ද ඇති වේ. එම වෛරයෙන් නිධාරීන් මුදවා ගැනීම නොකළහොත් ඛේදජනක සිද්ධීන් වලට මුහුණ දීමට සිදු වේ.

ඇඹිලිපිටියේදීම පොලිස් අධිකාරි ධර්මරත්නගේ සිද්ධියේදී සිදු වුයේද එවැන්නක් වන අතර ඇඹිලිපිටිය නගරය තුල උද්ඝෝෂණ සිදු කලේ අවට ගම් වලින් පැමිණි  විවිධ සමාජ විරෝදී ක්‍රියාවල නිරතවන පුද්ගලයන්ය. එහිදී එම සිද්ධිය ඇවිස්සීම නීතිඥවරයෙකු විසින් කල අතර ඔහුගේ පියාට විරුද්ධව නඩුවක් පැවරීම සහ එම  නීතිඥවරයා අධිකරණ සංකීර්ණයේදී සිගරට් පානය කිරීමේ සිද්ධියක් එයට මුල් විය. එම නීතිඥවරයා මියගිය තරුණයාගේ බිරිඳ පළිහක් ලෙස භාවිතා කරමින් තම වෛරය පිරිමසා ගත් බව එම සිද්ධිය දත් පුද්ගලයන්ට නොරහසකි. එහෙත් මේ වන විටද එම මිය ගිය තරුණයාගේ බිරිඳ දැඩි මානසික පීඩනයක ජීවත් වෙයි. දරුවන් දෙදෙනාගේ වියදම සපයා ගැනීම සදහා අසල වෙලඳසලක සේවිකාවක් ලෙස සේවය කරන්නීය . එකල එම කාන්තාව හැරෙන හැරෙන අතට හැසිර වූ එම නීතිඥවරයා හෝ අනෙකුත් අය එම දරුවන් සහ එම කාන්තාවගේ වර්තමාන  දුක් සැප බලන්නේ නැත. පොලිසියෙන් හෝ යමක් ගන්නට තිබු දේ නැති කලේ එම නීතිඥවරයා සහ කණ්ඩායමයි. එම නීතිඥවරයා තම වැරදි වසා ගැනීම වෙනුවෙන් තම නිරුවත ලෝකයාට පෙන්වමින් දරුවන් දෙදෙනෙකුගේ යහපැවැත්ම විනාශ කල අතර තවත් පොලිස් නිලධාරීන් 22 දෙදෙනෙකුගේ ජීවිතද විනාශ කර තිබේ. එම පොලිස් අධිකාරිවරයා සමග නිලධාරීන් එම නඩු සදහා ලක්ෂ ගණන් වියදම් කරති. ඔවුන් ඒවා කරන්නේ තම දරු පැටවුන් නඩත්තු කරමින් වන අතර ලැබෙන සොච්චම් වැටුපෙන් නඩුත් කියාගෙන දරුවන්ද පෝෂණය කරන්නට ඔවුන්ට සිදු වේ. මුදල් නොමැති වූ විට විවිධ අපචාර සිදු කර මුදල් සෙවීමට ඔවුන්ටද සිදු වේ. නීතියට ගරු කරන සමාජයක් ලෙස, සිද්ධිය මුලින්ම වූ අවස්ථාවේ රාත්‍රී 11.00  සංගීත සාජ්ජය අවසන් කලේ නම් මේ කිසිවක් සිදු වන්නේ නැත. පවුල් ගණනාවක,  පුද්ගලයන් ගණනාවක් මේ සිද්ධියෙන් මේ වන විටත් පීඩා විදින අතර පොලිස් නිලධාරීන්ට උසස්වීම් වත් නැත. ඔවුන් සියලු දෙනාම සමාජය දෙස වෛරී දෑසින් නොබලන්නේ යයි කිසිවෙකුටත් කිව නොහැක. එසේ සිදුවීමෙන් දේශයට සිදුවන අනතුරෙන් මව් බිම සහ ප්‍රජාවන් බේරා ගැනීමට කිසිවක් රජයන් හෝ ආයතන මට්ටමින් සිදු නොකිරීමෙන් සිදු වන හානීන් පිලිබදව කිසිවෙකුත් අවධානය යොමු කර තිබෙන බවක් දක්නට නැත.

ජේෂ්ඨ නිජෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට වෙට්ටු දමමින් වාහනය පැද යන්නේ ද නීතිඥවරයෙකුගේ පුතෙකි. එම පුත්‍රයාද විවිධ අපචාර සිදු කරන පුද්ගලයෙක් බව අනාවරණය වෙමින් පවතී. රත්නපුර කිරිඇල්ල ප්‍රදේශයේදී රන්මල් කොඩිතුවක්කු මහතා තරුණයෙකුට පහර දීම පිලිබඳ පුවත ගැනීම සදහා අපද උත්සුක වුයේ සැබවින්ම පහර දීම වරදක් නිසාය. එහෙත් එම වීඩියෝව දැකීමත් සමගම අප දුටුවේ එම තරුණයා පොලිස් අත්අඩංගුවෙන් පැන යාමට උත්සාහ දැරීමකි. එවැනි අවස්ථාවකදී එසේ අවම බලයක් භාවිතා කිරීමට නීතියෙන්ම බලය ලබා දී තිබෙන්නේ පොලිසියට පමණක් නොවේ. එම බලය සෑම සිවිල් පුරවැසියෙකුටම තිබේ. එම තරුණයාගේ හැසිරීම තුලින්ම වරද කාගේදැයි සිතා ගැනීමට වීඩියෝ සාක්ෂි හොඳටම ප්‍රමාණවත්ය. නමුත්, වාර්තා වන අන්දමට නම් මේ වන විට රන්මල්ට මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තිබේ. එම නඩුව දිනාගැනීම කෙසේ වෙතත් අවුරුදු ගණනාවක් නීතිඥවරුන්ට මුදල් ලබා දෙමින් අධිකරණයට යාමට ඔහුටද සිදු වේ.  නීතිපති මෙවැනි නඩු සදහා පෙනී සිටිය යුතු වුවත් නීතිඥවරුන් හා සම්බන්ධ නඩු වලදී නීතිපති පෙනී නොසිටින බවක් දක්නට තිබේ. එම කරුණ දක්නට ලැබෙන්නේ පෑලියගොඩ පොලිසියේදී , ජනාධිපති නීතීඥවරයෙකුගේ පුත්‍රයෙකු නොහොත් නීති සිසුවෙකු පොලිස් පරීක්ෂකවරයෙකුට පහර දීමේ සිද්ධියට අදාලව ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ලෙනාර්ඩ් ද සිල්වා මහතා වෙනුවෙන් නීතිපති පෙනී නොසිටීමයි. එපමණක්ද නොව, මුල් නඩුකරවලදී ප්‍රධාන පෙලේ නීතීඥවරු සියල්ලෝම මේ මහතා වෙනුවෙන් පෙනී සිටීම ප්‍රතික්ෂේප කර තිබේ. නමුත් එම නීති සිසුවා වෙනුවෙන් ජනාධිපති නීතිඥවරු හය දෙනෙකු අධිකරණයේදී කරුණු දක්වා තිබේ. ඒ මහතා වෙනුවෙන් පෙනී සිටීමට කැමැත්ත ප්‍රකාශ කල නීතිවේදියා එම නඩුව සදහා රුපියල් ලක්ෂ 25ක් ඉල්ලා තිබේ. කෙසේ හෝ එම නඩුව සදහා ලක්ෂ 14 ක් වියදම් කිරීමට සිදුව තිබෙන අතර මූලික අයිතිවාසිකම් නඩුව සදහා ද  ලක්ෂ ගණන් නීතීඥ ගාස්තු ලෙස ගෙවීමට සිදුව තිබේ. එම මුදල් සෙවීමට ඔවුන්ට වෙනත් රැකියාවල් කිරීමටද නොහැක. එවිට විවිධ අපරාධකරුවන්ට උදව් කරමින් ලේසියෙන් මුදල් ඉපයීමේ කටයුතු කිරීමට ඔවුන්ට ද  සිදු වේ.

පොලිස් නිලධාරීන්ගෙන් කොටසක් එසේ නිවැරදි ලෙස රැකියාව සිදු කරද්දී තවත් කොටසක් වැරදි අයුරින්ම රැකියාව කරති. පොලිස් මත්ද්‍රව්‍ය කොඨිඨාශය මේ සදහා හොදම උදාහරණයයි. ඔවුන් දූෂිත මාර්ග වලින් මුදල් සොයමින් මහජනතාවගෙන්ද වැටුප් ලබති. මහජනතාවගෙන් වැටුප් ලබා මහජනතාවටම රෙද්ද උස්සා පෙන්වීම ඔවුන් යහමින් සිදු කරන අතර , ඔවුන්ගේ නීතිමය කටයුතු සදහා අපරාධකරුවන්ම මුදල් යොදති. මෙසේ වැරදි කර විවිධ අයුරින් දඩුවම් පවා විදි නිලධාරීන් රිසි සේ උසස්වීම් පවා ලබති.

එසේම තම හිතවත්කම් සහ යාළුකම් මතද පොලිසියේ කටයුතු සිදු වේ. මහනුවර දළදා මාලිඟාවේ දියවඩන නිලමේ වන ප්‍රදීප් නිලංඟ  දැලට විරුද්ධව පවරා තිබෙන පැමිණිලිවලදී  , යහළු හිතවත්කම් මත බොහෝ දේ යට ගසා  තිබේ. එවැනි ක්‍රියාවන් සාමාන්‍ය සිද්ධි වලදීද දක්නට තිබේ.

යහළු , හිතවත්කම් සහ තම බලය මත අනෙකාගේ අයිතිවාසිකම් කඩ වන්නේ නම් මහජනතාවගෙන් අඩකටත් වඩා  සහ පොලිස් නිලදාරීන්ගෙන්ද අඩකටත් වැඩියෙන් අපරාධ, දූෂණ සහ වංචා කරුවන් නම්, අපරාධ කරුවන් සමග පොලිසියේද සබඳකම් තිබේ නම්, මේ සියල්ලම හේතුවෙන් පීඩා විදින්නේ මේ සමාජයේ සිටින යහපත් මිනිසුන් සේම යහපත් පොලිස් නිලදාරීන්ය. එසේ නම් මිනිස් ප්‍රජාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කෙසේ සුරකින්නද? ජගත් මානව හිමිකම් දිනය නමට පමණක් ලිය වී තිබේ. එම තත්වය කෙතරම් අභාග්‍ය සම්පන්නද යත් පසු ගිය දිනක මහනුවර වැසියෙකු ශ්‍රී ලංකා මානව හමිකම් කොමිෂම ඉදිරිපිට ගිනි තබා ගන්නා බව ප්‍රකාශ කලේ අවුරුදු 15 ක් තිස්සේ තමන්ගේ ප්‍රශ්න විසදා දීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම ක්‍රියා නොකළ බව දන්වමිනි.

මේ අයුරින් බලන විට පොලිසිය පමණක් නොවේ දේශපාලකයන්, නීතීඥ, වෛද්‍ය , ව්‍යාපාරික , විනුසුරුවරුන් ඇතුළු සියලු ප්‍රජාවන් මානව වාදී ලෙස සංවර්ධනය කල යුතුව තිබේ.

සියලු දෙනාම සතුටින් තබන ලෝකයක් සහ රටක් අපට අවශ්‍ය වෙමින් තිබේ. ඒ සදහා කිසිදු දර්ශනයක් තවමත් අප රට තුල ස්ථාපනය වී නැත. නිවැරදි දේ කුමක්ද, වැරදි දේ කුමක්ද යන්න ප්‍රජාවට තේරුම් කර දීමට අවශ්‍ය දැනුමැත්තෝ ද  ශ්‍රී ලංකාව තුල ඇත්තේ අතලොස්සකි.  මේ සියල්ලම සමග අනෙකුත් රාජ්‍ය ආයතන සහ අවුරුදු ගණනක ශ්‍රී ලංකාවේ පරිපාලනය දෙස බලන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අනෙකුත් නීතීන් වලට ගරු කරමින් සාධාරණ ලෙසම වැඩ කටයුතු කිරීම කාලෙන් කාලෙට වෙනස්වෙමින් පැමිණ මේ වන විට යම් විනාශයකට ළගා වී තිබෙන බව පෙනේ.

දැන් අප කල යුත්තේ සියලූ සාධාරණ බලවේග එකට එකතු වීමයි. එකට එකතු වී මේ තත්වයෙන් දේශීය ජනතාව බේරා ගැනීම සදහා අවශ්‍ය සැලසුම් සකස් කල යුතුය. එසේ නොමැති උවහොත් ඉදිරියේදී, පොලිස් නිලධාරීනට පමණක් නොව, ග්‍රාමසේවකලාටද , ප්‍රාදේශීය ලේකම්ලාටද, ඇතුළු පරිපාලනයටද, ගුරුවරුන්ටද, එහි පරිපාලකයන්ටද,විනිසුරුවරුන්ටද ජනතාව පන්නා පන්නා පහර දීමට පෙෙඹනු ඇත. එවිට මෙම රාජ්‍ය නිලදාරීන් දෙපැත්තකින් පීඩාවට පත් වනු ඇත. එක් පැත්තකින් අපරාධකරුවන්ද, තවත් පැත්තකින් සාමාන්‍ය ජනතාවද මොවුන්ට පහර දෙනු ඇත. එවිට මේ රට ආගමක් , දහමක් නැති, අතීතයේ  සෝමාලියාව, ඉතියෝපියාව , කොරියාව වැනි රාජ්‍යයන් තිබු තැනටත් පහලින් ශ්‍රී ලංකාව ස්ථාපනය වී ම්ලේච්ඡ මිනිසුන්ගෙන් ගහන දේශයක් බවට පත් වනු ඇත.

මේ තත්වයෙන් මෙරට බේරාගැනීමට නම් එකිනෙකා මත දොස් පැවරීමෙන් පලක් නැත. කල යුත්තේ සැබෑ දැක්මක් ස්ථාපනය කිරීමයි. එතුල දේශපාලනය හෝ වෙනත් පටු අරමුණු නොතිබිය යුතුය. සැබෑ සමාජ සහ ප්‍රජා සංවර්ධන මෙන්ම තරුණ සංවර්ධන ක්‍රම ශ්‍රී ලංකාව තුල ස්ථාපනය කල යුතුය. කවුරුන් හෝ එසේ කරන්නේ නම් ඒ සදහා සියලු දැනුම සහ උපදේශ අප සතු බැවින් අවශ්‍ය නම් ඒවා ලබා දීමට අපද මිනිසුන් ලෙස බැදී සිටිති. අනෙකාගේ අයිතිවාසිකම් සුරකින දේශයක් සහ ලෝකයක් ගොඩනැගීම සදහා අප අත්වැල් බැඳගමු.

ශ්‍රී නිශ්ශංක මායාදුන්න.

පොදුරාජ්‍ය මණ්ඩලීය එක්ෂත් තරුණ සංවර්ධිතයන්ගේ සංගමයේ සාමාජික

ප්‍රජා සහ තරුණ සංවර්ධනය පිළිබදව උපාධි අපේක්ෂක

Exit mobile version