සංඛපාල කන්දෙන් ජිවත්වන මිනිසුන්ට දුෂිත මිනිසුන්ගෙන් කරදර. මුදලට කෑදර මිනිසුන් පොඩි මිනිහා තලද්දී රත්නපුර දිස්ත්‍රික් ලේකම් රූකඩයක් වේවිද?

රත්නපුර සංඛපාල කන්ද සහ එම කඳුවැටිය යනු ඉතිහාසයේ බොහෝ කරුණු සැඟවී තිබෙන කඳු පන්තියකි. එම කඳු පන්තියේ මිගහයාය ගම්මානයේ අහිංසක වැසියන් පසුගිය 2021, 2022 වර්ෂවල දැඩි පීඩාවකට ලක් කිරීමට, ගැටුම් ඇතිකිරීමට කටයුතු කලේ හම්බන්තොට සිමෙන්ති කම්හලට මිගහයාය කන්දේ කොටසක් දීමට රත්නපුර දිස්ත්‍රික් ලේකම් , ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්, උඩවලව පොලිස් ස්ථානාධිපති සහ සංඛපාල බෞද්ධ විහාරයේ භාරකාර කොකාවල කෝශල නමැති ශ්‍රමණ වේසදාරියෙකු ඇතුළු කණ්ඩායමක් විසිනි. ප්‍රදේශයේ අහිංසක තරුණයන් කිහිපදෙනෙකුට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමටද සිමෙන්ති කම්හලේ සල්ලිවලට කෑදර වූ පොලීසිය සහ කොකාවල කෝශල සමත්විය. නමුත් වැඩි දවසක් නොගිහින් ඔවුන්ගේ දේශපාලන නායකයන්ට පස්සා දොරෙන් පැනයාමට සිදු වූ නමුත් ඔවුන්ගේ දුෂිත රාජ්‍ය නිලධාරීන් සහ දුෂිත කණ්ඩායම් තවමත් මහජනතාවට පිඩා ගෙන දෙමින් සිටි.

එම සිදුවීම් මාලාවම අප දිගින් දිගටම වාර්තා කළ අතර මේ වන විට එම සිමෙන්ති කර්මාන්තශාලාවට අමුද්‍රව්‍ය ලබා ගත හැකිවන ලෙස උපක්‍රමශිලිව ප්‍රදේශයේ පාරිසරික විනාශයන් සිදුකරනා පුද්ගලයෙකුට අක්කර 5 ක් ලබා දීමත් සමඟම නැවත වරක් මීගහයාය ජනපදය ඇවිලෙමින් තිබේ. එපමණක් නොව ලංකාව පුරා පාරිසරික සංවිධාන 984 ක් පමණ නැවත මෙම ප්‍රදේශය දෙස අවධානයෙන් පසු වේ.

සංඛපාල නින්දගමට අයත් වන්නේ අක්කර 80 කට ආසන්න ප්‍රමාණයක් බවත්, පල්ලෙබද්දේ සිට පහළට රක්ෂිත ප්‍රදේශ පවා සංඛපාල විහාරස්ථානයට අයත් බව ප්‍රකාශ කරමින් විහාර භාරකාර ශ්‍රමණ වේසදාරි කොකාවල කෝශල විසින් හොරට ඔප්පු පවා සකසා තිබෙන බවද අප මීට පෙරම වාර්තා කර තිබේ. හම්බන්තොට සිමෙන්ති කම්හලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමට හොර රහසේම, සාමාන්‍ය ලෙස පෙන්වා අක්කර 5 ක් ලබා දී තිබෙන නමුත් එම ඉඩම්වලට ඔප්පු පවා තිබෙන බව අප මීට පෙරම පෙන්වා දී තිබේ. කෙසේ නමුත් ලබා දුන්නා යැයි කියන අක්කර 5 ක් පමණ වන ප්‍රාමාණය පිළිබදව අවශ්‍ය තොරතුරු ලබාගැනීමට අප අපොහොසත් විය . නමුත් අදාළ ඉඩම්වල ඔප්පු අප ලබාගත්තේ 2021 වර්ෂයේදීය.

එම සිමෙන්ති කම්හලේ හිමිකරුවන් ගමේ වැසියන් කණ්ඩායම් ඇතිකර ඔවුනොවුන් අතර ගැටුම් පවා ඇතිකර මෙම කඳු ප්‍රදේශය අත්පත් කරගැනීමට කටයුතු කරන්නේ රටට හිතැති මිනිසුන් ලෙස නොව, ඔවුන්ගේ මඩි තර කරගැනීමටය. මෙම කන්ද කැපීමෙන් පවුල් සිය ගණනාවකට ජලය පවා අහිමි වේ. කොස්වැටිය කන්දේ ගල් වලවල් ආරම්භ කිරීමට පෙර ජනතාව එරෙහි වුයේ ඔවුන්ට බීමටවත් ජලය අහිමිවන ඔවුන් දැන සිටි බැවිනි. නමුත් මහජන ඉල්ලීමට වඩා දේශපාලන, සහ මුදල් බලය මත සංඛපාල කොස්වැටිය කන්දේ ගල්වලවල් නිසා කොස්වැටියේ මිනිසුන්ට ජලය අහිමිව ගියේය. එසේම මෙම ගල්වලවල් සියල්ලම පිහිටා තිබෙන්නේ වනජීවී රක්ෂිතයක වුවත් ඒවා සඳහා හොර ඔප්පු සකසා තිබේ. ඒ අප ඉහතින් සඳහන් කළ ශ්‍රමණ වේශධාරී භික්ෂුව විසිනි. ඒ සඳහා රාජ්‍ය නිලධාරින්ගෙන් උපකාර ලැබී තිබේ. අප එම සියලුම දෙනාගේ නම් පිටින් වාර්තා කර තිබේ.

කෙසේ නමුත් මෙම කන්දෙන් කිසිදු කොටසක් ගල්වලක් වෙනුවෙන් ලබා දීමට නීතියට අනුව හැකියාවක් නැත. එයට ප්‍රධානතම හේතුව නම් එම ඉඩම්වලට හිමිකරුවන් සිටීමයි. එසේ තිබියදී දී තිබේ නම් එයට රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා වග කිව යුතුය. මෙම සිද්ධිය පිළිබඳව 2022 02 21 වැනි දින හෝ ආසන්න දිනයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කර තිබේ. මේ වන විට කොකාවල කෝශල වෙනුවෙන්ද කණ්ඩායමක් ස්ථාපනය කරගෙනම තිබේ. ඒ පන්සලට බදු ගෙවනා අහිංසක මිනිසුන්ය.

එවන් වට පිටාවක් තුළ රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා මෙම ඉඩම් ගැටලුව විසඳීම සඳහා සංඛපාල විහාරස්ථානයට පැමිණෙන බව අපට වාර්තා වී තිබේ. රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා අප ඉහතින් සඳහන් කළ බෞද්ධ වෙස්ගත් භික්ෂුවගේ දැඩි හිතවතෙකි. මිනිසුන්ගේ ඉඩම් ලබා නොදුන්නේ නම් දිස්ත්‍රික් ලේකම්වරයාට විසඳීමට ඉඩම් ප්‍රශ්නයක් නොමැත. විසඳන්නේ නම් විසඳිය යුත්තේ සංඛපාල විහාරස්ථානයට අක්කර 80 කට අසන්න ප්‍රමාණයක් පමණක් තිබියදී මෙම ඉඩම් මංකොල්ලය සිදුවන්නේ කෙසේද යන්න සොයා බැලීමය. එසේම රජයේ ඉඩම්වලට වංචනික බදු ඔප්පු සකසා තිබෙන්නේ කෙසේද යන්නද සොයා බලා එම වංචාවන් වලට දැඩි දඬුවම් ලබා දීමය. නමුත් මේ වන තෙක්ම සිදු වුයේ මුදලට ලොල් වූ බිලියනපතියන්, සමඟ එක් වූ මෙම දුෂිත කණ්ඩායම අහිංසක ගොවිපවුල්වලට දුක් ගින්දර දීම පමණි.

මේ පිළිබඳව වාර්තා සියල්ලම පහතින් බලන්න.

Exit mobile version