ශ්‍රී ලංකාවේ තත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත. පාර්ලිමේන්තුව දිනකට කෝටි 9 බැගින් වියදම් කරමින් ජනතාවගේ බෙල්ලට දිනෙන් දින තොන්ඩුව දමා තද කරමින් සිටි. අරගල, ගැටුම් පැමිණ ජනතාව දැඩි පීඩා වින්දත් එය පාලකයන්ට නම් ඇහුනු බවක් තවමත් දක්නට නැත. සමහර විට ඔවුන් ජනතාව සමග වෛරයෙන් පසුවනවා විය හැකිය. දැන් QR තිබේ. ඉන්ධන නැත. තිබුනත් ලබා ගැනීමට දිගු පෝලිම්ය. ගොවියන්ගේ වී අස්වැන්න නෙලාගනිමටද දැන් ඉන්ධන නැත. QR එකට ගිය වියදමද ජනතාවගේ මුදල් විනා ඔවුන්ගේ පෞද්ගලික බූදලයක් නොවේ.
වැඩබැරිනම් ගෙදර යා යුතුය. එහෙම කිවේ ජනාධිපතිය. ජනාධිපතිවරයා එසේ කීවේ ඒ රාජ්‍ය සේවකයන් ඉලක්කගත කරගෙන අනුරාධපුරයේදීය. නමුත් ජනතාවගේ වැඩ කිරීම සඳහා පාර්ලිමේන්තු යැවූ මන්ත්‍රීවරුන්ටද වැඩ බැරි බව මේ වෙද්දීත් ඔප්පු වී හමාරය. නමුත් ඔවුන් යහතින්, කා බී සතුටින් සිටිති.
අමාත්‍ය කාංචන විජේසේකර මහතාද ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යවරයාය. පසුගිය මැයි මස 26 වැනිදා සිටම ඔහු බොරු බේගල් ඇද බෑවේ මෙරට ජනතාවටය. ජනතාවගේ කුස ගින්න සමග ඔහු සෙල්ලම් කළේය. රුසියාව ඉන්ධන දීමට නොහැකි බව කියු ඔහුගේ ප්‍රකාශයට පිළිතුරු දුන්නේ ශ්‍රී ලංකාවේ රුසියානු තානාධිපති කාර්යාලයයි. ඔවුන් නිවේදනය කලේ එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකාව විසින් කර නැති බවයි. රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සදහා සිවිල් සංවිධාන මෙන්ම වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරු පවා පාර්ලිමේන්තුවේදී හඩක් නැගුවද ඒවා සියල්ලම අමාත්‍යවරයා ලෙස කාංචනට තිබෙන බලය හමුවේ යට ගියේය.
මේ වන විට රට පුරාම නැවතත් ඉන්ධන පෝලිම් තිබේ. බොහෝ ඉන්ධන හල් වසා දමා තිබේ. නමුත් ඇමතිවරයා පවසන්නේ එවැනි හිඟයක් නැති බවයි. පෝලිම්වල සිටින ජනතාව ඒවාට දෙන පිළිතුරු අහන්න ඔවුන් වෙස් වලාගෙන හෝ පැමිණිය යුතුය. එවිට ඔවුන්ට තවත් පාඩමක් ඉගෙන ගත හැකිය. එසේ පාඩම් ඉගෙන ගත හොත් නැවතත් ඔහුට පාර්ලිමේන්තුවරම් ලැබෙනු ඇත. එසේත් නොමැති නම් මරණයෙන් පසු ඔහුට යන්නට වෙනමම අපායවල් සැකසෙනු ඇත. ජනතාවගේ සාපයෙන් ගැලවී යාමට ඔවුන්ට කිසි සේත්ම හැකියාවක් නොලැබෙනු ඇත.
ඉන්ධන හේතුවෙන් ඇතිව තිබෙන ප්‍රශ්න සහ ට්විටර් පණිවිඩ පිලිබදව පසුගියදා දෙරණ රුපවාහිනී නාලිකාවේ 6.55 පුවත් විකාශයේදී ඉදිරිපත් කල විස්ත්රය පහතින් බැලිය හැකිය
ඔවුන්ගේ බොරුව කොපමනද යත් දැන් “ නටන්න බැරි මිනිහට පොළව ඇදයි” කියන්නා සේ ඛනිජ තෙල් සංස්ථාවේ දූෂණ සහ වංචා මෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීම්ද කතා වෙති. නමුත් ජනතාවට ඒවායින් වැඩක් නැත. ඔහුද කරනේ බොරුවක් බව දැන් ජනතාව දනිති. සියලු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරමට සිදුවන්නේද ජනතාවගේ වරදින් නොවේ. එය සිදුවන්නේද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් විසින්ම රාජ්‍ය සේවයේ රැකියා ලබා දීම දේශපාලන වුවමනාවන් මත සිදු කිරීමේ දූෂිත ක්‍රියාවලිය හේතුවෙනි. මැතිවරණයෙන් තමන්ගේ චන්දයෙන් තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු කල තම පක්ෂයේ සමාජිකයන්ට, ඔවුන්ගේ දු දරුවන්ට රාජ්‍ය සේවයේ රැකි රක්ෂා ලබා දුන්නේ කවුදැයි යන්න ප්‍රථමව සොයා බැලිය යුත්තේද එසේ ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන් විනා පීඩිත පන්තිය නොවේ. ඔහු පසුගියදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ දේශපාලන තීරණ, දේශපාලන පත්වීම්, වැරදි පරිපාලනය සහ නොහැකියාව රාජ්‍ය ආයතන පහත වැටීමට හේතු වී ඇති බව යි. එසේ රැකියා ලබා දුන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ සිට ඉදිරියට වන අතර උපාධිදාරි නොවන පුද්ගලයන් හට වැඩිම රැකි රක්ෂා ලබා දී තිබෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ සහ මහින්ද රාජපක්ෂ යුගයේදීය.
එසේම ඔහු සදහන් කර තිබෙන කාර්ය සාධනය පදනම් කරගත් වැටුප් අනිවාර්ය වීම පිලිබඳව යම් තරමක් හෝ ඉහලින් තිබු තිස්ස දේවේන්ද්‍ර වැටුප් කොමිෂම අත් හිටුවා නුසුදුස්සාට වැටුප් වැඩි කිරීමේ වැටුප් කොමිෂම පත්කර ඒ අනුව අටුප් ලබා දීම සිදුකරන්නේද මහින්ද රාජපක්ෂ මහතා 2006 දීය. ඒ සියල්ලම නිසා රට වැනසී ගියේය.
ඔහු තවත් කරුණු රාශියක් එහි සදහන් කර තිබෙන අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සිටින සේවකයින් 4,200 වෙනුවට ක්‍රියාශීලි සේවකයින් 500 දෙනෙකුගෙන් එම ආයතනවල කාර්යක්ෂමතාව ඇති කළ හැකි බව කියයි. නමුත් එසේ සේවකයන් පත්කර තිබෙන්නේ කාංචන විජේසේකර මහතාගේම හිතවත් මැති ඇමතිවරුන් විනා මෙරට සාමන්‍ය ජනතාව නොවේ. විදුලි බල මණ්ඩලයට පවා අසීමිත ලෙස සේවකයන් පත් කරගන්නේ ද කාංචන විජේසේකර මහතාගේම හිතවත් දේශපාලන නායකයන් විසිනි.
කෙසේ වුවත් ඔහුගේ ප්‍රකාශයන් සියල්ලම නිවැරදි නමුත් මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ “නංගි පෙන්වා අක්කා දීම” නොවේ. ඔවුන් අවංක වී ජනතාවට සහන මිලට ඉන්ධන ලබා දීමත්, ජනතාවට ජීවත් වීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරිමත්ය. නමුත් තතු දත්තෝ කියන්නේ නම් දැන් සංවර්ධන ව්‍යාපෘති නැති නිසා කවුරු කවුරුත් යහමින් මුදල් උපයන්නේ ඉන්ධන වලින් බවයි. ජනතාවගේ ප්‍රශ්න විසදීම සඳහා යයි පවසමින් රට විකිණීමෙන් හෝ රට සම්පත් විකිනීම් සදහා අවශ්‍ය පදනම ජනතාවගේ ඔලුවට දැම්මත් යටි අරමුණු තබාගෙන ගහන ගැට වලින් හිරවෙන්නේ ද එසේ කරනා පාලකයන්මය. නමුත් ඔවුන් කුමන ගැටයක හිර වුවත් එම බර ඔවුන් ජනතාවගේ කර මතින් තබා යහතින් සැතපී සිටී. එයින් කියවෙන්නේ නැවතත් අරගලයක් ලඟ ලඟම පැමිණෙන බවයි.