සජිත් ඇතුළු පිරිස සභාවෙන් පිටව ගියත් රාජිත-චම්පික ෆොන්සේකා ඇතුළු 29ක් ඇතුළේ!. බෙදීමක්ද? නව දේශපාලන පෙරලියක්ද?

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය ඊයේ (07) ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන විට සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් සභාගැබෙන් පිටව ගිය ද සමගි ජන බලවේගයේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, කුමාර වෙල්ගම ඇතුළු පිරිසක් සභාගර්භයේ රැඳී සිටිමින් ජනාධිපතිවරයාගේ කතාවට සවන් දුන්හ. ඒ.එච්.එම්. ෆවුසි, ඉෂාක් රහුමාන්, ෆයිසාල් කාසීම්, වඩිවේල් සුරේෂ් යන සජබ නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද විපක්ෂය නියෝජනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, නියෝජ්‍ය කාරකසභා සභාපති අංගජන් රාමනාදන්, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, සාරතී දුෂ්මන්ත මිත්‍රපාල යන මන්ත්‍රීවරු ද සභාගර්භයේ රැඳී සිටියහ. මේ හැරුණුකොට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, පියංකර ජයරත්න, තිස්ස විතාරණ, ඩලස් අලහප්පෙරුම, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනවිරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, උදයන කිරිදියගොඩ, චරිත හේරත්, ගුණපාල රත්නසේකර යන මන්ත්‍රීවරු ද සභාවෙහි රැඳී සිටියහ.

එමෙන්ම ජාතික ජන බවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිණි අමරසූරිය මෙණෙවිය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මහතා ද ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරන අවස්ථාවේ රැඳී සිටි අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම් තවරාසා, චාල්ස් නිර්මලනාදන් යන මන්ත්‍රීවරුන් ද සභාවෙහි සිටිනු දක්නට ලැබිණ.

උත්තර ලංකා සභාගය නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ හා අපේ ජන බල පක්ෂයේ අතුරලියේ රතන හිමි ද සභාවට පැමිණ සිටියේ නැත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, උත්තර ලංකා සභාගයේ සිට සමගි ජන බලවේගයට සහාය පළ කරන පත් කළ මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද සභා ගර්භයෙන් පිටව ගියහ. විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස ඉවත්ව යන අවස්ථාවේ ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය අඛණ්ඩව ඉදිරිපත් කරමින් සිටි අතර මැතිඇමැතිවරු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය කෙරෙහි අවධානයෙන් සිටියහ. එම අවස්ථාවේ රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා ‘‘වාඩි වෙලා අහගෙන ඉන්න‘‘ යනුවෙන් ඉවත්ව යන මන්ත්‍රීවරුන්ට උස් හඬින් ප්‍රකාශ කරනු අසන්නට ලැබිණි. එම අවස්ථාවේ නිශ්ශබ්දව සිටින්නැයි මැතිඇමැතිවරු රාජ්‍ය ඇමැතිවරයාට සන් කළහ. ජනාධිපතිවරයා විනාඩි හතළිස් පහක පමණ කාලයක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව අද (08 වැනිදා) පෙරවරු 9.30 දක්වා කල් තබන ලදි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී භෝජනාගාරයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පැවැති තේ පැන් සංග්‍රහයට පාඨලී චම්පික රණවක ඇතුළු මන්ත්‍රීවරුන් සිටිනු දක්නට ලැබිණි.
(දිනමිණ)

Exit mobile version