සත්‍ය සොයා වෙනස්ම ආකාරයක දැක්මක්

වෙනස්ම ආකාරයක දැකීමක්

බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයට යොමු වූ ආර්‍ය ශ්‍රාවකයා පෘතග්ජනයා දකින ආකාරයෙන් වෙන්ව වෙනස් ම ආකාරයකින් දැකීම සිදුවේ. එය මූලපරියාය සූත්‍රය තුළින් මනාව පැහැදිලි වේ.

“ඉධ භික්ඛවෙ අස්සුතවා පුථුජ්ජනො අරියානං අදස්සාවී අරියධම්මස්ස අකොවිදො අරියධම්මෙ අවිනීතො, සප්පුරිසානං අදස්සාවී සප්පුරිසධම්මස්ස අකොවිදො සප්පුරිසධම්මෙ අවිනීතො පඨවිං පඨවිතො සඤ්ජානාති. පඨවිං පඨවිතො සඤ්ඤත්‍වා පඨවිං මඤ්ඤති. පඨවියා මඤ්ඤති. පඨවිතො මඤ්ඤති. පඨවිං මෙති මඤ්ඤති. පඨවිං අභිනන්‍දති. තං කිස්ස හෙතු? අපරිඤ්ඤාතං තස්සාති වදාමි.” (මූලපරියාය සූත්‍රය – ම.නි. 1)

“මහණෙනි, අශ්‍රැතවත් පෘතග්ජනයා, ආර්‍යයන් නොදකින්නේ වෙයි. ආර්‍ය ධර්මයෙහි අදක්ෂ වේ. ආර්‍ය ධර්මයෙහි නොහික්මෙයි. සත්පුරුෂයන් නොදකින්නේ වෙයි. සත්පුරිෂ ධර්මයෙහි අදක්ෂ වේ. සත්පුරිෂ ධර්මයෙහි නොහික්මෙයි. (ඔහු) පඨවිය පඨවි වශයෙන් හඳුනාගනී. පඨවිය පඨවි වශයෙන් හඳුනාගෙන පඨවි ලෙස හඟියි. පඨවියෙහි යැයි හඟියි. පඨවියෙන් යැයි හඟියි. පඨවිය මගේ යැයි හඟියි. පඨවිය අභිනන්දය කෙරේ. ඒ කවර හෙයින්ද යත් පිරිසිඳ නොදත් හෙයින් යැයි වදාරමි.”

“යොපි සො භික්ඛවෙ භික්ඛු සෙඛො අප්පත්තමානසො අනුත්තරං යොගක්ඛෙමං පත්‍ථයමානො විහරති. සොපි පඨවිං පඨවිතො අභිජානාති. පඨවිං පඨවිතො අභිඤ්ඤාය පඨවිං මාමඤ්ඤි. පඨවියා මාමඤ්ඤි. පඨවිතො මාමඤ්ඤි. පඨවිං මෙති මාමඤ්ඤි. පඨවිං මාභිනන්‍දි. තං කිස්ස හෙතු? පරිඤ්ඤෙය්‍යං තස්සාති වදාමි.” (මූලපරියාය සූත්‍රය – ම.නි. 1)

“මහණෙනි, යම් භික්ෂුවක් සේඛ වේද, අනුත්තර වූ නිවීම අපේක්ෂාවෙන්, ප්‍රාර්ථනාවෙන් වාසය කරයි. ඔහු පඨවිය පඨවි වශයෙන් අභිජානාති වේ. පඨවිය පඨවි වශයෙන් විශේෂයෙන් අවබෝධ කරගෙන පඨවි ලෙස මාමඤ්ඤි වෙයි (පඨවි හැඟීමේ වැරැද්ද දැක හික්මෙයි). පඨවියෙහි යැයි මාමඤ්ඤි වෙයි. පඨවියෙන් යැයි මාමඤ්ඤි වෙයි. පඨවිය මගේ යැයි මාමඤ්ඤි වෙයි. පඨවිය මාභිනන්‍දි වේ (පඨවි අභිනන්දනයේ වැරැද්ද දැක හික්මෙයි). ඒ කවර හෙයින්ද යත් පිරිසිඳ දත් හෙයින් යැයි වදාරමි.”

ආර්‍ය ශ්‍රාවකයාට, පෘතග්ජනයාට වෙනස්ම වූ ආකාරයට සංඛතය (සකස් වූ) පිළිබඳව දැක්මක් ඇත. එම දැක්ම පිළිබඳව විස්තරය එතෙර වන මාර්ග අංගයෙන් දැකීම (සම්මා දිට්ඨියෙන්) සිදුවන ආකාරය මූල පරියාය සූත්‍රය තුළ පැහැදිලි වේ.

“කිත්තාවතා පන භන්තෙ, ඨානාඨානකුසලො භික්ඛූති අලං වචනායාති.

ඉධානන්‍ද, භික්ඛු: අට්ඨානමෙතං අනවකාසො, යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්‍ය, නෙතං ඨානං විජ්ජතී’ති පජානාති. ඨානං ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්‍ය, ඨානමෙතං විජ්ජතී’ති පජානාති.” (බහුධාතුක සූත්‍රය-ම.නි. 3)

“ස්වාමීනි, කෙතෙකින් ඨාන අට්ඨාන කුසල භික්ෂුව යැයි කීමට සුදුසු වේද?

“ආනන්ද, මෙහිලා භික්ෂුව ඒකාන්තයෙන් ම සිදුනොවන්නක් ලෙස මෙසේ මනාව දැනගනී. යම් දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් (සෝතාපන්න) කුමන හෝ සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගැනීමකට පැමිනේයැයි යන කරුණ කිසිදු ලෙසකින් විද්‍යාමාන නොවේ. යම් පෘතග්ජන පුද්ගලයෙක් කුමන හෝ සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගැනීමකට පැමිනේයැයි යන කරුණ ඒකාන්තයෙන් විද්‍යාමාන වන්නක් යැයි මනාව දැනගනී.”

සම්මා දිට්ඨියෙන් යුතු සේඛ පුද්ගලයෙක් කිසිදු ලෙසකින් නිත්‍ය, සැප, ආත්ම වශයෙන් හඳුනානොගන්නා බව ද යොමුනොවන බව ද පැහැදිලි වේ. එසේ වූ ආර්‍ය ශ්‍රාවකයා තථාගත දහමට අනුව නිවිමේ වැඩපිළිවෙළ පුරුදු කරන විට තම තමන්‍ට ගෝචර වන සංඛත ලෝකය දකින ආකාරය වන සම්මා දිට්ඨියෙන් පජානාති වේ. මේ පජානාති යන වචනය ඉදිරිපත් වන අර්ථය ලෝකෝතර මාර්ග අංගය වන සම්මා දිට්ඨිය වේ. එය ලෝකය තුළ පවතින්නක් නොව ලෝකයෙන් එතෙර වන මාර්ග අංගය වේ.

“සෙය්‍යථාපි භික්ඛු රඤ්ඤො පච්චන්තිමං නගරං දළ්හුද්දාපං දළ්හ පාකාරතොරණං ඡද්වාරං. තත්‍රස්ස දොවාරිකො පණ්ඩිතො ව්‍යත්තො මෙධාවී අඤ්ඤාතානං නිවාරෙතා ඤාතානං පවෙසෙතා. පුරත්‍ථිමාය දිසාය ආගන්ත්‍වා සීඝං දූතයුගං තං දොවාරිකං එවං වදෙය්‍ය: “කහත්‍ථම්භො පුරිස, ඉමස්ස නගරස්ස නගරසාමී”ති? සො එවං වදෙය්‍ය: එසො භන්තෙ මජ්ඣෙ සිංඝාටකෙ නිසින්නොති.”

“මහණ, යම්සේ රජෙකුගේ දැඩි පවුරු සහිත ඇති මනා උපකාර ඇති පවුරු තුළ දොරවල් හයක් ඇති නගරයක් වේ. එහි පණ්ඩිත වූ, ව්‍යක්ත වූ, නුවණැති හඳුනන්නැති අය වලක්වන, හඳුනන අය ඇතුලු කරවන දොරටු පාලකයෙක් වේ. ශීඝ්‍රගමන් ඇති දූත යුවළක් පෙරදිගින් ඇවිත් ඒ දොරටු පාලකයාගෙන් මේ නුවරහිමියා කොහි දැයි විමසන්නේය. ඔහු මෙසේ පවසයි. ස්වාමිනී, නගර මැද වූ සිවුමංසලෙහි සිටියි.”

“අථ ඛො තං සීඝං දූතයුගං නගරසාමිස්ස යථාභූතං වචනං නිය්‍යාතෙත්‍වා යථාගතමග්ගං පටිපජ්ජෙය්‍ය. පච්ඡිමාය දිසාය ආගන්ත්‍වා සීඝං දූතයුගං -පෙ- උත්තරාය දිසාය ආගන්ත්‍වා සීඝං දූතයුගං -පෙ- දක්ඛිණාය දිසාය ආගන්ත්‍වා සීඝං දූතයුගං තං දොවාරිකං එවං වදෙය්‍ය: “කහත්‍ථම්භො පුරිස ඉමස්ස නගරස්ස නගරසාමීති? සො එවං වදෙය්‍ය: “එසො භන්තෙ මජ්ඣෙ සිංඝාටකෙ නිසින්නො”ති. අථ ඛො තං සීඝං දූතයුගං නගරසාමිස්ස යථාභූතං වචනං නීය්‍යාතෙත්‍වා යථාගතමග්ගං පටිපජ්ජෙය්‍ය.”

“එකල්හි ඒ ශීඝ්‍ර දූත යුවල නුවර ස්වාමියාට ඇති සැටි වූ වචනය පවරා දී ආ මඟට ම පිළිපන්නේ ය. ශීඝ්‍ර දුත යුවළක් පෑළදිගින් ඇවිත් … උතුරුදිගින් අවුත් … දකුණුදිගින් ඇවිත් ඒ දොරටුපල්ලාට ඒ දොරටු පාලකයාගෙන් මේ නුවරහිමියා කොහි දැයි විමසන්නේය. ඔහු මෙසේ පවසයි. ස්වාමිනී, නගර මැද වූ සිවුමංසලෙහි සිටියි. එකල්හි ඒ ශීඝ්‍ර දූත යුවල නුවර ස්වාමියාට ඇති සැටි වූ වචනය පවරා දී ආ මඟට ම පිළිපන්නේ ය.”

“උපමා ඛො ම්‍යායං භික්ඛු කතා අත්‍ථස්ස විඤ්ඤාපනාය. අයඤ්චෙත්‍ථ අත්‍ථො: නගරන්ති ඛො භික්ඛු ඉමස්සෙතං චාතුමහාභූතිකස්ස කායස්ස අධිවචනං. මාතාපෙත්තිකසම්භවස්ස ඔදනකුම්මාසූපචයස්ස අනිච්චුච්ඡාදන පරිමද්දන භෙදන විද්ධංසන ධම්මස්ස. ඡද්වාරන්ති ඛො භික්ඛු, ඡන්නෙතං අජ්ඣත්තිකානං ආයතනානං අධිවචනං. දොවාරිකොති ඛො භික්ඛු සතියා එතං අධිවචනං. සීඝං දූතයුගන්ති ඛො භික්ඛු සමථවිපස්සනානෙතං අධිවචනං. නගරසාමීති ඛො භික්ඛු විඤ්ඤාණස්සෙතං අධිවචනං. මජ්ඣෙ සිඞ්ඝාටකොති ඛො භික්ඛු චතුන්නෙතං මහාභූතානං අධිවචනං: පඨවිධාතුයා ආපොධාතුයා තෙජොධාතුයා වායොධාතුයා. යථාභූතවචනන්ති ඛො භික්ඛු නිබ්බානස්සෙතං අධිවචනං. යථාගතමග්ගොති ඛො භික්ඛු අරියස්සෙතං අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස අධිවචනං සෙය්‍යථිදං: සම්මාදිට්ඨියා -පෙ- සම්මාසමාධිස්සාති.”

“මහණෙනි අර්ථ පෙන්වීම පිණිස මා විසින් මේ උපමාව දේශනා කරන ලදී. ඒ මේ අරුත යි. මහණෙනි, නුවර යනු මවුපියන්ගෙන් හටගත්, බතින් ව්‍යංජන වලින් වැඩුණු, අනිත්‍ය වූ, ඉලීම්, පිරිමැදීම්, බිඳීම්, වැනසීම් ස්වභාව කොට ඇති සතර මහාභූතමය වූ මේ සිරුරට නමකි. මහණ, සය දොර යනු අධ්‍යාත්මික ආයතන හයට නමකි. මහණෙනි, දොරටුපල්ලා යනු සිහියට මේ නමකි . මහණ, ශීඝ්‍රදූත යුවළය යනු සමථ විපස්සනාවන්ට මේ නමෙකි. මහණ, නුවරහිමියා යනු විඤ්ඤාණයට නමකි. මහණ, මැද සිවුමංසල යනු පඨවි ධාතුවට ද, ආපෝ ධාතුවට ද, තේජෝ ධාතුවට ද, වායෝ ධාතුවට ද යන සතර මහා ධාතුන්ට නමෙකි. මහණෙනි, ඇති සැටි වූ වචනය යනු නිවනට නමකි. මහණෙනි, ආ මග ය යනු ආර්‍ය අෂ්ටාංගික මාර්ගයට නමකි. එනම් සම්මා දිට්ඨියට … සම්මා සමාධියට ද මේ නමෙකියි.”

මේ දේශනාව තුළින් මාර්ගය හා මාර්ගය තුළ වූ සමථ විපස්සනාවන් කෙනෙකුට අයිති නැති බව හොඳින් ම පැහැදිලි වේ. එම එතෙරවන මාර්ග අංගයේ සම්මා දිට්ඨියෙන් සුඤ්ඤතාවය් ත්, අසුඤ්ඤතාවය ත් මනාව දැනගන්නා ආකාරය චූල සුඤ්ඤත සූත්‍රයේ දී පැහැදිලි විය. නමුත් එම සුඤ්ඤතාවය සිදුවීමේ ක්‍රියාව ‘සමනුපස්සති’ ලෙස පැහැදිලි වේ. ඉහතින් පෙන්වූ අනිත්‍ය ආදි සූත්‍ර තුළත් ‘සමනුපස්සන්තො’ ලෙස පැහැදිලි වේ. සක්කාය දිට්ඨිය විස්තර කරන විට ත් ‘රූපං අත්තතො සමනුපස්සති’ ලෙස පැහැදිලි වේ. මේ පිළිබඳව වැඩි විස්තර පසුවට ඉදිරිපත් වේ. මෙසේ සක්කාය දිට්ඨීය යෙදෙන ආකාරය පෙන්වීමේ දී ත් එම සංදර්භය සමඟ ‘සමනුපස්සති’ ලෙස පැහැදිලි කර ඇත.

මේ කරුණ උපමාවක් ද ඇසුරුකරගනිමින් ඉදිරි ලිපියේ දී සාකච්ඡා කරමු.

පූජ්‍ය අලව්වේ අනෝමදස්සි හිමි

රෑනකෙටුවගල ආරණ්‍ය සේනාසනය

වදේමඩ, ඕවිලිකන්ද , මාතලේ

Exit mobile version