“සඳගල” හොරෙන් උස්සා තිබෙන්නේ කෙහෙළියගේ හොඳම ගෝලයෝ.

ආන්දෝලනයට තුඩු දුන් පසුගිය 14 වැනිදා කුණ්ඩසාලේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබු “සඳගල” ගලවාගෙන ගොස් තිබෙන සියලුම සැකකරුවන් සහ අදාළ වාහනද මේ වන විට හදුනාගෙන තිබේ. නමුත් ඔවුන්ගේ දුරකථන කුළුණු වාර්තා පමණක් ගැනීමට ඉතිරිව තිබෙන අතර එම වාර්තා ලැබුණු වහාම ඔවුන් තිදෙනා අත් අඩංගුවට ගැනීමට නියමිතව තිබියදී එහි පරීක්ෂන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට පොලිස්පතිවරයා තීරණය කර තිබේ.

කෙසේ නමුත් මෙම සැකකරුවන්ගේ සෙල්ලම් සහිත CCTV දර්ශන එලියට පැමිණ තිබේ. ඔවුන් රැගෙන ආ බූම් ට්‍රක් සහ ඩිෆෙන්ඩර් රථයද හඳුනාගෙන තිබේ. එහි ප්‍රධාන සැකකරුවන් තිදෙනාම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සංවිධායකවරයන් බව එම ප්‍රදේශයේ ජනතාව සඳහන් කරයි. රටේ අමාත්‍යවරුන් පත් කිරීමට මෙවැනි දූෂිත, රට වනසන පුද්ගලයන් ප්‍රධාන ස්ථානයක් ගන්නා බව නොරහසකි. බොහෝ පොලිස් ස්තානධිපතිවරු පවා පත්කරගෙන්නේ මෙවැනි දූෂිත හොරුන් විසිනි. දූෂිතයන්ගේ කරමතින් දේශපාලනය කරන්නේ නම් දූෂිතයන් සිදුකරන වැරදිවලින් තමන්ටද කුණු නාමය පැමිණෙන බව අමාත්‍යවරුන්ද දැනගත යුතුය.

සියල්ලම හඳුනාගෙන තිබේ නම්, එය තහවුරු නම් කල යුත්තේ හැකි ඉක්මනින් ඔවුන්ව අත් අඩංගුවට ගැනීමය. දුරකථන කුළුණු වාර්තා ලැබෙන තෙක් ඔවුන්ව අත් අඩංගුවට ගෙන ඉදිරිකටයුතු කල යුතුය. එසේ ප්‍රමාදවීම මත විවිධ කටයුතු සඳහා කීර්තියක් උසුලන  කැබිනට් අමාත්‍යවරයෙකු වන කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බලපෑම් මත ඔහුව අත් අඩංගුවට නොගන්නා බවට ඔහුට චෝදනා එල්ලවීම ඔහුට සිදුවන අපරාධයකි. නමුත් කෙහෙළිය මහතාගේ බලපෑම් මත මොවුන්ව අත් අඩංගුවට නොගන්නා බවට කිසිදු සාක්ෂියක් අපට ලැබී නැත. නමුත් අපට නොලැබෙන බොහෝ සාක්ෂි ඔවුන්ගේ දුරකථන වලින් සොයාගත හැකිය. එසේම ඔහු බලපෑම් කරන බවට පොලිස් දෙපාර්තමේන්තුවද පවසන්නේ නැත. කෙසේ නමුත් බලපෑම් එල්ලවන බවට සාක්ෂි නැතත් එසේ නොවන්නේ යයි තවුරුවක් දීමටද අපට නොහැක. එබැවින් කල යුත්තේ වහාම නීතිය ක්‍රියාත්මක කිරීමය. නීතිය ක්‍රියාත්මක නොවන තාක් කල් මෙම සිද්ධියට ආධාර අනුබල දුන් බවට කෙහෙළිය රඹුක්වැල්ලට එල්ලවන චෝදනා ඒ ආකාරයෙන්ම පවතිනු ඇත. එබැවින් දැන් කෙහෙළිය මහතා කල යුත්තේ ඔවුන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කිරීමය.

ලංකාව පුරාම විවිධ අයුරින් පැරණි දේවල් විනාශ වෙමින් තිබේ. නමුත් සාක්ෂි තිබෙන වැරදිකරුවන්ට හෝ නඩු පවරා දඩුවම් දීම කල යුතුය . නමුත් එය සිදු නොවේ. අප එවැනී සාක්ෂි සහිත සිද්ධීන් ගණනාවක්ම  වාර්තා කර තිබේ. උදාහරණයක් ලෙස ඇඹිලිපිටිය, පනහඩුව රන්මිනිකොත පැරණි වෙහෙරේ ඉදිකිරිම් පිලිබඳව කර තිබෙන පැමිණිල්ලට ගත යුතු කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට උඩවලව පොලිස් ස්ථානාධිපති කටයුතු කර නැත. නමුත් තව නොබෝ දිනයකින් ඔහු විශ්‍රාම යාමට නියමිතව තිබේ.

පොලීසිය නිහඬවන තරමට, ඔවුන්ට බලපෑම් කරන තරමටම නීතිය ක්‍රියාත්මක නොවනනමුත් මෙරට වැසියන් ඔවුන්ට වැටුප් ගෙවන්නේ නීතිය ක්‍රියාත්මක කරවීමටය. නෙතිය ක්‍රියාත්මක කිරීමට එරෙහිව බලපෑම් කරන්නේ නම් ඔවුන්ටද නඩු පැවරිමට ලංකා දණ්ඩ නීති සංග්‍රහය වගන්ති සඳහන් කර තිබේ. එබැවින් පොලීසිය කල යුත්තේ වහාම නඩු පැවරීමය.   

Exit mobile version