මාධ්‍ය සදාචාර අම්මටසිරි වෙන්න උඩු යටිකුරු කරන මීඩියා කාරයෝ කොහෙත් ඇත. ඉදිකට්ට මෝල්ගහක් කර දේශබන්දු ගෙන් ලකුණු දමා ගැනීමට යන මෙලෝ රහක් නැති පොලිස් ස්ථානාධිපතිවරුන්ද එමටය. රටට හෙන ගැහුනෙම ඒ නිසාමය. වරද දේශබන්දුගේ නොවේ, කොන්දක් නැති සමහර තුට්ටු දෙකේ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේය.
කොහොඹ ගහේ කරවිල වැල ගියා වගේ ගහට ගහක් මුණගැහෙන මොරටුවේදී මේ දෙකොට්ඨාශයම එකට සෙට් වූ තැන අම්මටසිරි වන ප්රවෘත්ති මැවීම පුදුමයක් නොවනු ඇත.
උත්තරීතර යුද හමුදාවේ ප්‍රතිරූපය මහ දවල් කෙළෙසමින් මේජර් නිලය පජාත කර දමා දෙකයි පනහේ අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීමට මාධ්‍ය සදාචාරය බල්ලට දමමින් යුද හමුදාවේ මේජර්වරයෙකු අළලා ලියවුනු සහ කියැවුණු හිතළු වාර්තාකරණය දිනක් යෑමට මත්තෙන්ම නිරුවත් වී අවසන්ය.
ඇත්ත කතාව මෙන්න…
නිවාඩු ලබා නිවසේ සිටි මෙම මේජර්වරයා ඔහුගේ පවුලේ අවශ්‍යතාවයක් සඳහා දැව භාණ්ඩ මිලදී ගැනීමට ඔහුගේ භාර්යාවද දැනුවත් කර අන්තර්ජාලයේ ගෘහභාණ්ඩ විකුණුම් කරන නියෝජිත දුරකථන අංකය ඔස්සේ මොරටුව ප්‍රදේශයට ගොස් ඇති අතර අතර වාරයද ගෘහභාණ්ඩ ප්‍රදර්ශනාගාරය වලින් මිල ගණන් විමසමින් වෙබ් අඩවියේ තිබූ මිල ගනන් සමග සංසන්දනය කළ ඔහු වෙබ් අඩවියේ සඳහන් දුරකථන අංකයට ඇමතුමක් ලබාදී පැමිණිය යුතු ස්ථානය විමසීමේ දී ඇමතුමට පිළිතුරු දෙමින් එම ප්‍රදේශයේම වෙනත් ස්ථානයකට මෙම මේජර් වරයා ගෙන්වාගත් පුද්ගලයෙකු ඔහුව ගොඩනැගිල්ලක් තුළට රැගෙන ගොස් ඇත.
මංකොල්ලකෑම…
මනා ලෙස පෙර සංවිධානය වී සිටී මංකොල්ලකරුවන් හත්දෙනෙකු මේජර් වරයා ගොඩනැගිල්ලට ඇතුල් වෙනවත් සමඟම ඔහු වටකර පහරදී ඔහුගේ මුදල් පසුම්බිය බැංකු කාඩ්පත් සියල්ල එසැණින් මංකොල්ල කෑවේය. තවදුරටත් ඉදිරි අනාගතයේදී මේජර් වරයා බ්ලැක්මේල් කර මුදල් ලබාගැනීම් දිගින් දිගටම සිදු කිරීමට ඔහු නිරුවත් කරවා ජංගම දුරකථනය මගින් වීඩියෝ ගත කළ අතර මේ පිළිබඳව පොලිසිය දැනුවත් කළහොත් නිරුවත් වීඩියෝ පට අන්තර් ජාලයට මුදා හරින බවට තර්ජනය කර ඇත. මෙම අවස්ථාව වන විට ලක්ෂ දෙකක මුදලක් මංකොල්ල කෑ මංකොල්ලකරුවන් අවසානයේ ඔහු නිදහස් කර ඇත.
බ්ලැක්මේල්…
නිවසට ගිය මේජර් වරයා තම භාර්යාව හට තමා මුහුණ දුන් අමිහිරි අත්දැකීම සම්පූර්ණයෙන් විස්තර කළ අතර සිද්ධිය පිළිබඳව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් නොකිරීමට තීරණය කළෝය. අනතුරුව දින දෙකක් ගිය තැන මංකොල්ලකරුවන් විසින් මේජර් වරයාගේ දුරකථන අංකයට දුරකථන ඇමතුම් ලබාදෙමින් තවත් ලක්ෂ දෙකක මුදලක් වහාම ලබා දෙන ලෙසටත් එසේ කිරීමට අපොහොසත් වුවහොත් නිරුවත් වීඩියෝ පට සමාජ මාධ්‍යට මුදා හරින බවටත් ප්‍රකාශ කළෝය. තර්ජනයන් ඉවසාගත නොහැකි තැන අවසානයේ අම්මට සිරි ලංකාවේ පොලෝසියෙ පිහිට පැතීමට මේජර්වරයාට සිදුවිය.
අම්මට සිරි, ශ්‍රී ලංකා පොලෝසිය…
මොරටුව පොලිස් ස්ථානය වෙත ගිය මේජර් වරයා තමාට මුහුණ දීමට සිදු වූ සම්පුර්ණ සිදුවීම ස්ථානාධිපතිවරයා ඉදිරියේ පාපොච්චාරණය කර අතර පොලිසිය විසින් එම තොරතුරු ඔස්සේ යමින් මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේය. මංකොල්ලකරුවන් සියල්ල වයස අවුරුදු 16 17 18 යන වයස්වල මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හරින ලදී. මංකොල්ලකෑ ලක්ෂ 2 ක මුදලද නැවතත් මේජර්වරයාටම ලබාදුන් අතර මොවුන් විසින් සංවිධානාත්මකව මෙවැනි මංකොල්ලකෑම් රැසක් මින් පෙරද සිදුකර ඇති බවට අනාවරණය විය.
සිද්ධිය එසේ වී තිබියදීත් මෙම ප්‍රවෘත්තියේ වටිනාකම වැඩිකරගැනීමට කුපාඩි චේතනාවක් පහළ කරගත් මොරටුව පොලෝසිය මීඩියා කාරයෙක් ලවා අම්මටසිරි වෙන්න අනාවරණයක් සිදු කළෝය. එම අනාවරණය පදනම්ව සිරි ලංකාවේ පත්තර වල මුල්පිටු වලින් හමුදාවේ නම්බුවත් මේජර් පට්ට මත් හැඳි ගෑවී ගියෝය.
දිග පළල නොදැන ජීවිත සමග කරන සෙල්ලම…
මෙම මේජර් වරයා යුද හමුදාව තුළ මින් පෙර කිසිදු විනය කඩ කිරීමකට හංවඩු ගැසුනෙකු නොවන අතර සාර්ථක විවාහ ජීවිතයක් ගතකරන එක්දරු පියෙකි. දිග පළල හරි හතරක් නොදැන දෙකයි පනහේ විව්ස් වැඩි කර ගැනීමට අමු කෙප්ප ඇදබාන මාධ්‍ය කාරයෝ සහ ලකුණු පස්සේ හඹා යන තුට්ටු දෙකේ පොලිස් නිලධාරීන් හෙට දිනදී මේ දරු පවුලට අත් වන ඉරණමට වගකිය යුතුමය. එසේ නොචිමට ඔවුන්ට පිං තිබුණහොත්, සොබාදහම මගින් හෝ තමන්ටත් එම වේදනාව ලැබෙන බව නම් තම තමන්ගේ හදවතේ ලියා තබා ගැනීම වඩාත්ම හොදය.