සමාජ මාධ්‍ය පනතින් මානව අයිතිවාසිකම් කඩ වන්නේ නම් පෙන්වා දෙන්න! ටිරාන්ගෙන් අභියෝගයක්!

පසුගිය දා සම්මත කෙරුණු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව පනතේ මානව අයිතිවාසිකම් උල්ලංඝණය වන එකදු කරුණක් හෝ පවතී නම් එය පෙන්වා දෙන ලෙස මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පවසයි.

ඔහු සඳහන් කළේ, ඊට විරෝධතා මතු කරන පාර්ශවවලට අභියෝග කරන බව ත් එවැනි එකදු හෝ අංගයක් පනත තුළ පවතී නම් ඊට සංශෝධන ගෙන ඒමට කිසිසේත් පසුබට නොවන බව ත් ය.

අන්තර්ජාලය ඔස්සේ සමාජ ජාල ඇතුළු විවිධ වෙනස්කම් ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතින පසුබිමක් තුළ ලෝකයේ කවර රටක හෝ ජනතාවට එයින් සිදු විය හැකි අයහපත් බලපෑම් වළක්වා ගැනීමට නෛතික රාමුවක් පැවැතිය යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා ශ්‍රී ලංකාව ද මෙම පනත සම්මත කළේ එම ආරක්ෂාව රටේ ජනතාව වෙනුවෙන් සහතික කිරීමට බව අවධාරණය කළේ ය.

ඔහු තවදුරට ත් කළේ, මේ වනවිට ලෝකයේ රටවල් මේ පිළිබඳව පුළුල් අවධානයක් යොමු කොට ඇති බව ත් පසුගිය දා අමෙරිකානු කොංග්‍රසය ලෝකයේ ප්‍රධාන පෙළේ සමාජ ජාල මෙහෙයවන්නන් කැඳවා දැඩිව ප්‍රශ්න කළ අතර එම හිමිකරුවන් මෙම සමාජ ජාල හේතුවෙන් අගතියට පත් දරුවන්ගේ මවුපියන්ට කණගාටුව පළ කිරීමට පවා සිදුව ඇති බව ත් ය.

ශ්‍රී ලංකාවේ ව්‍යාජ සමාජ ජාල ගිණුම් පවත්වා ගැනීම හරහා විවිධ විෂමාචාර සිදු කිරීම වර්ධනය වී ඇති අතර එවැනි පසුබිමක් වළක්වා ගැනීමට මෙවැනි නෛතික රාමුවක් අත්‍යවශ්‍ය බව ඇමතිවරයා පැවසීය.

කෙසේ වුව ද, මේ වනවිට විවිධ පුද්ගලයන් මෙම පනත අයිතිවාසිකම් කැඩීමක් බව චෝදනා එල්ල කරන අතර සමාජයේ යහපත සඳහා ම සැලකූ මෙම පනත මගින් උල්ලංඝණය වන අයිතිවාසිකම් තිබේ නම් ඒවා කවරේදැයි කරුණු සහිතව පෙන්වා දෙන ලෙස තමන් අභියෝග කරන බව ඔහු සඳහන් කළේ ය.

අමාත්‍යවරයා වැඩිදුරට ත් කළේ, එවැනි අඩුපාඩුවක් පෙන්වා දුනහොත් තමන් මෙම පනතට ඊට අදාළව සංශෝධන ගෙන ඒමට අදාළව පියවර ගැනීමට කිසිසේත් පසුබට නොවන බව ය. (මව්බිම)

Exit mobile version