සහල් සහ සීනි සඳහා පාලන මිලක් නියම කිරීමට රජය කටයුතු කිරීම හේතුවෙන් වෙළෙඳපොළේ මේ වන විට සීනි සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇති අතර මේ හේතුවෙන් සීනි සහ සහල් මිල දී ගැනීම සඳහා වෙළෙඳපොළට පැමිණි පාරිභෝගිකයන් ද දුෂ්කරතාවට පත් ව ඇති බව වාර්තා වේ.
ආනයනික සීනි කිලෝග්රෑමයක් සඳහා 2020 වසරේ සිට පැවති ශත 25ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දැමිමට පසුගියදා රජය පියවර ගත් අතර බදු වැඩි කිරීමත් සමඟ බොහෝ වෙළෙඳුන් සීනි මිල ඉහළ දැමූ අතර, එය පාලනය සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට රජයට සිදු ව තිබේ.
ඒ, සුදු සීනි කිලෝග්රෑමයක් සඳහා රුපියල් 275ක් සහ දුඹුරු සීනි කිලෝග්රෑම් එකක් සඳහා රුපියල් 330ක් ලෙසිනි.
පවතින සීනි හිඟය සම්බන්ධයෙන් පිටකොටුව තොග වෙළෙඳුන් ගෙන් කළ විමසීමේ දී ඔවුන් ද සඳහන් කර තිබුනේ, අලෙවිය සඳහා සීනි තොග නොලැබෙන බවයි.
මේ හේතුවෙන් සීනි මිල දී ගැනීම සඳහා වෙළෙඳපොළට පැමිණි පාරිභෝගිකයන් ද දුෂ්කරතාවට පත් ව සිටිනු දක්නට ලැබෙන අතර වෙළඳපොළේ පවතින සීනි හිඟයට අමතර ව මේ වන විට සම්බා සහ කීරි සම්බා සහල් හිඟයක් ද නිර්මාණය වී තිබේ.
සහල් මිල දී ගැනීම සඳහා අද දිනයේත් වෙළෙඳපොළට පැමිණි බොහෝ පාරිභෝගිකයන්ට සිදු වී තිබුනේ සහල් නොමැති ව ආපසු හැරී යාමටයි.
කෙසේ වෙතත් පනවා ඇති පාලන මිලෙන් බැහැර ව සීනි සහ සහල් අලෙවි කරන පුද්ගලයන් සොයා සිදු කරන වැටලීම් අඛණ්ඩ ව දියත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තවදුරටත් පවසා තිබේ.