සිංහරාජ වනාන්තරයට අයත් රක්වාන, හැදර්ලි වතුයායේ නෙලවත්ත ප්‍රදේශයේ පිහිටි කුරුළුගල රක්ෂිතය තුල ඊයේ (14) පෙරවරුවේ ගින්නක් හට ගෙන තිබුණි. එම ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර 50 ක් පමණ විනාශව තිබේ. ආරක්ෂක අමාත්‍යංශය හා ආපදා කළමනාකරණ ඒකකය මැදිහත්ව ගින්න නිවා දැමීමට අවශ්‍ය සැලසුම් සකස් කෙරුනේ ඊයේ රාත්‍රියේදීය.
ඒ අනුව ශ්‍රී ලංකා යුධ හමුදාව දියතලාව, උඩවලව හා කුරුවිට යන කඳවුරු වල අණදෙන නිලධාරී වරුන් මේ පිලිබඳව අවධානය යොමුකොට තිබුණි. කුරුවිට යුධ හමුදා කඳවුරේ අණදෙන නිලධාරීවරයා සමග නිලධාරීන් හතර දෙනකුත් සෙසු නිලයන් 60 දෙනකුත් සමග ඊයේ රාත්‍රී ගින්න පැවති කුරුළුගල ප්‍රදේශයට පැමිණ තිබේ. එම ප්‍රදේශයට ලඟාවීමට අපහසුව ඇති ගිරි දුර්ග හේතුවෙන් ඊයේ රාත්‍රීයේ ගින්න නිවා දැමීමට ඔවුන් අපොහොසත් වුවද අද (15) අලුයම වන විට ගින්න නිවා දැමීම ආරම්භ කරන ලදී. ඒ අනුව දැඩි වෙහෙසක් ගෙන එම ගින්න නිවා දැමීමට ඔවුන් සමත් විය.
කෙසේ වෙතත් මෙම ගින්න පිලිබඳව වාර්තාවූ වහාම රත්නපුර දිස්ත්‍රික්කය බාර ආපදා කළමනාකරණය පිලිබඳව වගකිව යුතු ඉහල නිලධාරියෙක් එය විහිලුවට ගත් බවටද අපට තොරතුරු ලැබී තිබේ. එම අවස්ථාවේම ඔහු ඔහුගේ රාජකාරිය ඉටු කලේ නම් ඊයේ හවස වනවිට මෙම ගින්න නිවා දැමීමට යුධ හමුදාව අනිවාර්යෙන්ම කටයුතු කරනු ඇත. කෙසේ නමුත් ඔහුගේ විනෝදය හේතුවෙන් තවත් පැය කිහිපයක් මෙම ගින්න පැවතුනි.
මෙම ගින්න මැඩපැවැත්වීම වෙනුවෙන් එම ප්‍රදේශයේ ජනතාවද අවශ්‍ය උපකාර කර තිබේ. එමෙන්ම ගොඩකවෙල, වෙත්තිලකන්ද විහාරාධිපති හිමි විසින් යුධ හමුදා සාමාජිකයන් හට අවශ්‍ය ආහාර පාන හා ඉදුම් හිටුම් ඇතුළු පහසුකම් ලබාදී තිබේ. ගොඩකවෙල පොලිස් ස්ථානාධිපති කේ. එන්. විජේසිරි මහතා විසින් රක්වාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර සෝමසිරි මහතා වෙත දැඩි සහයෝගයක් ලබාදුන් බව රක්වාන පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාද මේ පිලිබඳව තම අවධානය යොමු කර තිබේ. සබරගමු පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා, රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, ජේෂ්ඨ සහ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයාද වනජීවී දෙපාර්තමේන්තුවද තම යුතුකම් කොටස ඉටුකර තිබේ.
ඒ අනුව අපගේ පුවතට ක්ෂණික ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් අපගේ ගෞරවය සියලුම පාර්ශ්වයන් වෙනුවෙන් සටහන් කරමු. එසේම එම ප්‍රදේශයේ ජනතාව ජනපති රනිල් වික්‍රමසිංහ මහතාටත්, ආරක්ෂක ලේකම් වරයා ඇතුළු සමස්ථ ආපදාකලමනාකරන ආයතනවලට හා ශ්‍රී ලංකා යුධ හමුදාවටත් තම ගෞරවය සහ ස්තුතිය පුදකරයි.