සෞඛ්‍ය ඇමති දූෂිත ගණුදෙනුවකට ඉන්දියාවට. සුපිරි හෝටලයක කාමර පහසුකම්. ( සාක්ෂි වීඩියෝ සහිතයි)

දේශීය ඖෂධ නිෂ්පාදකයෝ හා ආනයනකරුවෝ අසීරුතාවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ  ඖෂධ විසි අටක් ඉන්දියාවේ kausikh pharmaceutical නම් සමාගමෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ඇමති මණ්ඩලයෙන් අනුමැතිය ලබාගෙන තිබේ.

ඉන්දීය ණය පහසුකම් යටතේ ඉතිරි වී ඇති ඇමරිකන් ඩොලර් මිලියන 46ක මුදලක් භාවිතා කරමින් මෙම ඖෂධ ගෙන්වීමට නියමිතය. මේ දිනවල අත්‍යවශ්‍ය ඖෂධ හිගය හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය අර්බුධයකට ලක්ව ඇත.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 151 ක්,ශල්‍ය උපකරණ ඇතුළු පරිභෝජන භාණ්ඩ 5268 ක්, රසායනික ද්‍රව්‍ය 850 ක්, කිරණශීලි ද්‍රව්‍ය 18 ක තොග නොමැති බව සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල පසුගිය ඔක්තෝබර්  25 වැනිදා  කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ වාර්තාවේ  සදහන් වේ.

ඉදිරි  සති කිහිපය තුළ ඖෂධ හිගය තවත් උග්‍ර වන බවද ඇමතිවරයා එමගින් අනතුරු අගවා තිබේ.

මේ නිසා ඉන්දියාවේ savorite නම් සමාගම මාස තුනක ඖෂධ සැපයීමට එකග වී ඇති බව කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

මෙම සමාගම නිෂ්පාදනය කරන ඖෂධද ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ලියාපදිංචි  කර නොමැත.  මෙම සමාගම තෝරාගත් ආකාරය කැබිනට් පත්‍රිකාවේ සදහන් නොවන අතර තවත් තොරාගත් සමාගම් වලින්ද ඖෂධ මිළදී ගැනීමට  අවසර ඉල්ලා ඇත. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මෙම ඖෂධ අනුමත කර ඇති බව ඇමතිවරයා  කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. එහෙත් ශ්‍රිලංකාවේ  රෝගීන් භාවිතා කරන  ඖෂධ අනුමත  කරන්නේ ඖෂධ නියාමන අධිකාරිය විසිනි.

යෝජිත සැපයුම්කරු තෝරාගෙන ඇත්තේ අත්‍යවශ්‍ය පදනමක් මත බැවින් මිළ හා ගුණාත්මකභාවය පිළිබද සාකච්ඡා කළ යුතු බව මුදල් අමාත්‍යංශය සිය නිරීක්ෂණ මගින් දැනුම් දී ඇත. මෙම කැබිනට් පත්‍රිකාව අනුමත කර ගැනීමෙන් පසු සෞඛ්‍ය ඇමතිවරයා දෙසැම්බර් මස පස්වැනිදා යළිත්  වරක් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරයි. ඒ වෙනත් සමාගමකින් ඖෂධ මිළදි ගැනීම සදහාය.

ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි  kausikh pharmaceutical නම් සමාගමෙන් ඖෂධ වර්ග ගෙන ඒම සදහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත. එහිදි ඖෂධ වර්ග 28 ක් ගෙන්වීමට නියමිතය.  මෙම සමාගමේ ඖෂධද ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමත කර නොමැත. සිය සමාගම නිරීක්ෂණයට පැමිණෙන ලෙසට kausikh pharmaceutical සෞඛ්‍ය ඇමතිවරයාට පසුගිය 17 වැනිදා ආරාධනා කර තිබේ.  ඒ අනුව  සෞඛ්‍ය ඇමතිවරයා හා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  ප්‍රධාන විධායක නිලධාරීවරයා  ඖෂධවේදීන්  නොමැතිව ඉන්දියාව බලා ඊයේ (21)  පිටත්ව ගියහ. ඒ සදහා වූ සියලු වියදම් දරා ඇත්තේ අදාල ඖෂධ සමාගම විසිනි.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය භාවිතා කර  ඖෂධ ගෙන්වීම සදහා මුදල් අමාත්‍යංශයෙන්  ඉන්දීය ණය පහසුකම් සම්බන්ධීකරණ අංශයක්ද ස්ථාපිත කර ඇත. ඊට  ඉන්දීය  මහ කොමසාරිස් කාර්යාලයේ  සහායද ලැබී ඇති අතර ඖෂධ ලබාගැනීම සදහා ලිපිගොනු දහසකට වැඩි සංඛ්‍යාවක්  ඉදිරිපත් කර ඇති අතර ඊට අනුමැතිය ලැබීමට දීර්ඝ කාලයක් ගතවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කැබිනට් මණ්ඩලය වෙත  දැනුම් දී තිබේ.

කෙසේ නමුත් පාර්ලිමේන්තුවේ සම්මත ක්‍රමවේදයට පරිභාහිරව වෙනත් ක්‍රමයන් ඔස්සේ කැබිනට් මණ්ඩලයට තීරණ ගැනීමට නොහැකිය. එසේ වුවත් මෙම වැරදි නීතිවිරෝදී ක්‍රමයන් භාවිතා කරමින් කැබිනට් මණ්ඩලය මගින් එසේ අනුමැතිය දුන් මිලදී ගැනීම සහ ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් තිබේ. ඒ අනුව පෙනෙන්නේ කැබ්නට් මණ්ඩලය පවා නීතියට පරිභාහිරව කටයුතු කරනා බවයි.

ගනුදෙනුවට අදාළ සියලුම ලියකියවිලි සහ අදාළ හෝටලයේ බැව් පැවසෙන බිල

(මේ ලිපිය අසත්‍යය නම් ඒ  පිලිබඳව සත්‍ය රටට අනාවරණය කිරිමේ වගකීම ඇත්තේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාටය. ඔහුගේ ප්‍රකාශයට මෙහි ඉඩ කඩ වෙන්කර තිබේ)

Exit mobile version